ප්‍රසූතිය සඳහා රෝහල් ගත වන ගැබිනි මවට උපදෙස්


දස මාසයක් කුස දරාගෙන සිටින දරු සිඟිත්තා බිහිවන දිනය දවසින් දවස, පැයෙන් පැය, විනාඩියෙන් විනාඩිය, තත්පරයෙන් තත්පරය ළඟාවෙනවා. ඒ දිනය තෙක් මවක් වීමට බලා සිටින ඔබ ගෙදර පරිසරයෙන් අෑත් වෙලා අලුත් පරිසරයකට පැමිණෙනවා. මෙලෙස රෝහල් වාට්ටුවේ ගත කරන දින කිහිපය සතුටින් හා යහපත් ලෙස ගතකිරීම අවශ්‍යයි.

රජයේ රෝහල්වල නම් පොදු පහසුකම් සහිත වාට්ටුවක් තුළ නොයෙක් ශාරීරික අපහසුතා මධ්‍යයේ ගත කිරීමට සිදුවන අවස්ථා තිබෙන්න පුළුවන්. නමුත් නොයෙක් අපහසුතා මධ්‍යයේ ඒවා විඳදරා ගනිමින් මොහොතකට ඒවා අමතක කර මාස ගණනක් පෙරුම් පිරූ සිහිනය සැබෑ කරගැනීමට සිතට ගත යුතුයි.

තාවකාලික නවාතැනක්
ඒ වාට්ටු සංකීර්ණය තුළ ඔබ තාවකාලික නවාතැන ලෙස ලැබෙන පහසුකම්වලට අනුව අනුවර්තනය වීමත් ඔබගේ සිඟිත්තා පළමුවෙන්ම දකින වටපිටාව පිරිසුදුව, අලංකාරව තබා ගැනීමට ඔබත් ඔබ වගේම මේ සොඳුරු සිහිනය දකින අනෙක් මවුවරුන්ද සිත් යොමු කළ යුතුයි. ඒ සඳහා,

• පිරිසුදුව සිටින්න
• විශේෂිත රෝග තත්ත්වයකින් නොපෙළේ නම් දිනපතා ස්නානය කරන්න.
• පිරිසුදු ඇඳුම් අඳින්න
• තමාට අයත් ලොකරය හා ඇඳ අවට පරිසරය, ඇඳ පිරිසුදුව හා පිළිවෙළට තබාගන්න.
• මවට හා දරුවාට අවශ්‍ය බඩු පමණක් ළඟ තබා ගන්න. අනවශ්‍ය බඩු සියල්ල ඉවත් කරන්න.
• ආහාර ගැනීමට ඇති වාට්ටුවේ සූදානම් කළ ස්ථානයට ගොස් ආහාර ගන්න.
• ඉතිරි වන ආහාර, අපද්‍රව්‍ය ආහාර කාමරයේ ඇති භාජනවලට දැමීමට කාරුණික වන්න.
• දිනපතා වෛද්‍යවරුන්ගේ පරීක්‍ෂාව සඳහා අවශ්‍ය පරීක්‍ෂණ සඳහාත් හොඳින් සහයෝගය ලබාදෙන්න. එමඟින් ප්‍රසූතිය පහසු කර ගැනීමට ඔබට හැකියාව ලැබෙනු ඇත.

• අවශ්‍ය ඔෟෂධ හා පිළිවෙත් අවශ්‍ය වේලාවට ගැනීමත්, සහයෝගය ලබාදීමත් කරන්න.
• ඔබට ලබාදුන් භ්‍රෑණ චලන සටහන් කියාදුන් ආකාරයට ලකුණු කිරීම නිවැරැදිවම කරන්න. (දරුවාගේ දැඟලීම පිළිබඳව)
• තමාට ගැටලුවක් ඇති වූ ඕනෑම අවස්ථාවකදී ඒ පිළිබඳ වාට්ටුවේ සිටින හෙද නිලධාරිනියට පවසන්න.
• ඔබගේ අමුත්තන් ඇඳ මත වාඩි කරවා ගැනීමෙන් වළකින්න.
• දරු ප්‍රසූතිය සඳහා ප්‍රසූතිකාගාරයට රැගෙන යෑමට අවශ්‍ය ඇඳුම් වෙන්කර ජීවානුහරණය සඳහා වාට්ටුවට බාරදී සූදානම් කර ආරක්‍ෂා සහිතව තබාගන්න. (මවගේ හා දරුවාගේ ඇඳුම් පැලඳුම්)
• වාට්ටුවට ඇතුළත් වීමෙන් පසු තනිව වාට්ටුවෙන් පිටතට යෑමෙන් වළකින්න.

රෝහල් සේවය
රෝහල් කාර්ය මණ්ඩලය නිරන්තරව ඔබට සහාය වන්නටත්, නිරතුරුවම ඔබගේ යහපත සුබසිද්ධිය සඳහා ක්‍රියා කිරීමටත් බැඳී සිටියි. සේවාවේ ගුණාත්මක බව තවත් ඉහළ යනු ඇත. දස මසක් තුළ මවු කුස වර්ධනය වූ දරුවා ඊළඟ පියවර වන්නේ මවු කුස හැරදා මෙලොව එළිය දැකීමයි.
ප්‍රසූතිකාගාරයේදී
දරු ප්‍රසූතිය ආරම්භ වීමත් සමඟම ඔබ දරු ප්‍රසූතිය සඳහා ප්‍රසූතිකාගාරයට යොමු කරනු ලබයි. සාමාන්‍යයෙන් සිදුකෙරෙන්නේ ස්වාභාවික ප්‍රසූතියයි. දරු ප්‍රසූතියේදී ඔබට නිරෝගී දරුවකු ලබා ගැනීම සඳහා ප්‍රසූතිකාගාරයේදී සහාය වන හෙද නිලධාරිනියන්ගේ හා පවුල් සෞඛ්‍ය නිලධාරියාගේ උපදෙස් හොඳින් පිළිපදින්න.

ප්‍රථම දරු උපත
ඔබ සූදානම් වන්නේ ඔබගේ පළමු දරුවා මෙලොවට බිහි කිරීමට නම් ඔබට ඒ ගැන කුතුහලයක් හා සිතේ බියක් වියවුල් ගතියක් ඇතිවිය හැකියි. ඒ හෙයින් සූතිකාගාරය තුළ සිටින අනෙක් මවුවරුන්ගේ හැසිරීමත් ඔබට තවත් බිය ගෙන දෙන්නක් විය හැකිය. රෝහලේ සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය මඟින් ලබාදුන් සෞඛ්‍ය අවවාද හොඳින් සිතේ තබාගෙන ඒ අනුව හැසිරීම හා ක්‍රියා කිරීම කළ යුතුයි.

ප්‍රසූතියෙන් පසුව
දරු ප්‍රසූතියෙන් පසුව ඔබගේ සිඟිත්තාට ලබාදිය කලබලකාරී බවින් මිදුණු, විසබීජවලින් තොර හොඳ පරිසරයක් ඇතිකළ යුතුයි. ඒ සඳහා මවගේ හොඳ සෞඛ්‍ය පුරුදු හා අවට පරිසරය හොඳින් පවත්වාගත යුතුයි. වාට්ටුවේ සිටින සෞඛ්‍ය කාර්ය මණ්ඩලය ඔබට සුදුසු පරිසරය හැකි තරම් පිරිසුදුව සකස් කර දුන්නද පිටතින් පැමිණෙන ඔබේ නෑදෑ හිතමිතුරන් සිඟිත්තා ස්පර්ශ කිරීමෙන් ඇතැම් විට විසබීජ ඇතුළු වීමට ඉඩ තිබේ. මෙවැනි සුළු කරුණු කෙරෙහි පවා ඔබේ දැඩි අවධානය වැදගත් වන්නේය.

ඔබ රෝහලින් නික්ම යෑමට පෙර පහත සඳහන් කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න.
• දරුවාට බී.සී.ජී. එන්නත ලබාදුන්නද? ඒ සඳහා ලබාදෙන දරුවාගේ වර්ධන සටහන් පොත ලබාගත්තාද?
• ඔබට විටමින් "ඒ" අඩංගු බෙහෙත් කරල් දෙකක් බීමට ලැබුණාද?

• ඔබට හෝ දරුවාට විශේෂ වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට සිදුවූවා නම් ඒ පිළිබඳ තොරතුරු ඇතුළත් රෝග විනිශ්චය කාඩ්පතක් ලැබුණාද?
• රැකියාවේ අවශ්‍යතාවට අනුව ලබාගත් වෛද්‍ය සහතිකය හා සම්පූර්ණ කර විශේෂඥ වෛද්‍යවරයාගේ අස්සන් ලබාගත් රක්‍ෂණ ඉල්ලුම්පත් ලැබුණාද?
• පළාතේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයෙන් ලබාදුන් මවු සටහන් පත ලබාගත්තාද?

• ඔබගේ දරු සිඟිත්තාගේ පුරවැසිභාවය තහවුරු කිරීම සඳහා අවශ්‍ය උප්පැන්න සහතිකය ලියාපදිංචි කළ සටහන් පත් සියල්ල ලබාගත්තාද යන්න.
• රෝහලින් පිටවී යෑමට පෙර සිඟිත්තා හදා වඩා ගන්නා ආකාරය, මවුකිරි දීම, මල මුත්‍රා පිටකිරීමේ වෙනස්කම්, දරුවාගේ පෙකණිය සුව වීම පිළිබඳ අසා විස්තර දැනගන්න.

• දරු ප්‍රසූතියෙන් පසුව මවට දමන මැහුම් හෝ සිසේරියන් සැත්කම මඟින් දැමූ මැහුම් පිළිබඳත් සියලු තොරතුරු දැනගන්න.

ලයනි රසිකා නිරෝෂිණී
Share on Google Plus

About Pradeep Kumara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.