මට හොඳම විවේචන ලැබෙන්නේ මාලනී නැන්දාගෙන්

ඇය සමනලී ෆොන්සේකා. සමනලී දැවැන්ත කලා පවුලක එක් පුරුකකි. මේ දිනවල ජාතික රූපවාහිනියෙන් විකාශය වන A/Level ඉවරයි” ටෙලිනාට්‍යයේ උදාරිගේ චරිතය නිරූපණය කරන්නේ සමනලීය. ඒ හේතුවෙන් ඇය මේ දිනවල කාගේත් අවධානය දිනා සිටී. අද “තරුවක් සමඟ වරුවක්” විශේෂාංගයට අපි සමනලීව එක්කර ගතිමු.
සමනලී ඔබ මේ දවස්වල මොන වගේ වැඩත් එක්කද ඉන්නේ?
මේ දවස්වල A/Level ඉවරයි” ටෙලිනාට්‍යයේ රූපගතකිරීම් වලට සහභාගි වෙනවා. ඒ වගේ ම ශමීර නාඔටුන්නගේ “මෝටර් බයිසිකල්” චිත්‍රපටයේ වැඩවලටත් දායක වෙනවා. ළඟදීම ආරම්භ වන චිත්‍රපටයකත් ටෙලිනාට්‍යයකත් රංගනයට ආරාධනා ලැබිල තියෙනවා.
මේ දිනවල විකාශය වන A/Level  ඉවරයි ටෙලිනාට්‍යයේ ඔබේ රංගනය ගැන ප්‍රේක්ෂකයින් මොනවද කියන්නේ?
සමස්තයක් විදියට ගත්තම මේ ටෙලිනාට්‍යයට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මෙහි මම නිරූපණය කරන්නේ උදාරි කියන යෞවනියගේ චරිතය. උදාරි තමන්ගේ අරමුණට යන්න උත්සාහ කරන කෙනෙක්. මේ රංගනයට ප්‍රේක්ෂකයින්ගෙන් වගේම ක්ෂේත්‍රයේ ඉන්න අයගෙනුත් ඉහළ ප්‍රතිචාර ලැබෙනවා.
මේ ටෙලිනාට්‍ය වෙනත් ටෙලිනාට්‍යවලට වඩා වෙනස් ආකාරයක් ගත් එකක් නේද?
ඇත්තෙන්ම ඔව්. ලක්මිණි අමරදේව කියන නිර්මාණකරුවා අතින් බිහිවුණු ඉතා හොඳ ටෙලි නිර්මාණයක් තමයි A/Level  ඉවරයි. මෙය යෞවනයේ ස්වභාවය හොඳින් පෙන්නුම් කරන ටෙලිනාට්‍යයක්. පිටපත, කැමරාකරණය, වචන හැසිරවීම ආදී සෑම දෙයක් ම වෙනස්; නැවුම්. මේක රැල්ලට හැදුණු ටෙලිනාට්‍යයක් නෙමෙයි.
ඔබ මීට කලකට පෙර විදෙස්ගතව නේද හිටියේ?
ඔව්. විවාහ වෙලා අවුරුදු 3 ක් විතර හිටියේ ඕස්ට්‍රේලියාවේ. එහෙදිත් කලා කටයුතුවලට මම සම්බන්ධ වුණා. අවුරුදු 3 කට පසුව ලංකාවට ආ විට මට දකින්න ලැබුණේ වෙනස් ම කලා ක්ෂේත්‍රයක්. ඒ කෙටි කාලය තුළ ගොඩක් දෙවල් වෙනස් වෙලා තිබුණා. ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය‍ ෙවනස් වෙලා තිබුණේ නරක පැත්තට. නමුත් සිනමාව පැත්තෙන් දියුණුවක් දකින්න ලැබුණා.
විදෙස්ගත වෙලා සිටි කාලයේ රංගනය ගැන හැදෑරීමක් කරන්න ඔබට හැකි වුණා ද?
ඇත්තටම මට ඒ අවස්ථාව ලැබුණේ නෑ. එහෙම ශාස්ත්‍රීය හැදෑරීමක් කරන්න තිබුණා නම් ඉතාම හොඳයි. ඒ මොකද ලංකාව තුළ එවැනි අවස්ථාවක් දැනට නොමැති නිසා. මීට අවුරුදු කීපයකට පෙර සෞම්‍ය ලියනගේ, තරුපති මුණසිංහ වැනි කීපදෙනෙක් ට ශිෂ්‍යත්වයක් ලැබුණා කලාව ගැන හදාරන්න. ඒ ශිෂ්‍යත්ව වැඩසටහන එහෙමම නැවතුණා. එවැනි අවස්ථාවක් තියෙනවා නම් ඉතාම හොඳයි.
ඔබේ පවුලට සම්බන්ධ ගොඩක් දෙනෙක් දැන් කලාවට සම්බන්ධ වෙලා ඉන්නවා නේද?
ඔව් අපේ ෆොන්සේකා පවුලේ මගේ පරම්පරාවේ ගොඩක් දෙනෙක් දැන් කලාවට විශේෂයෙන්ම රංගනයට සම්බන්ධ වෙලා ඉන්නවා. මේ කලා පවුලේ මහා වෘක්ෂය තමයි මාලිනී ෆොන්සේකා නැන්දා. ඇයගෙන් බිහිවුණු අංකුර තමයි අපි. සෙනාලි, සඳුනි, අශාන් වගේ මගේ පරම්පරාවේ කට්ටියත් ඊළඟ පරම්පරාවේ අයත් දැන් කලාවට ඇවිත් තියෙනවා. මම දන්නවා ඒ ගැන වඩාත්ම සතුටු වෙන්නේ මාලිනී නැන්දා.
ඔබේ නැන්දා (මාලිනී ෆොන්සේකා මහත්මිය) ගෙන් ඔබේ නිර්මාණ කටයුතු වලට මොනවගේ උදව්වක් ද ලැබෙන්නේ?
නැන්දා තමයි පුංචි කාලෙ මාව කලාවට යොමු කළේ. පසු කාලෙක මම වෘත්තීය මට්ටමේ කලා ශිල්පිනියක් විදියට වැඩ කරන විට නැන්දාගෙන් ලැබුණු සහයෝගය කියල නිම කරන්න බැහැ.
රංගන කටයුතු ගැන වගේ ම වෘත්තීය නිළියක් විදියට අපේ ගෙවීම් ආදිය ගැනත් නැන්දගෙන් මම උපදෙස් ලබා ගන්නවා. මගේ රංගනය ගැන හොඳම විවේචනය ලැබෙන්නේ නැන්දාගෙන්.
සිනමාව තුළ තවමත් ඔබට දැනෙන යමක් කරන්න අවස්ථාව ලැබුණේ නැහැ නේද?
පුංචි කාලෙන් පසුව තරුණ රංගන ශිල්පිනියක් විදියට සිනමාව තුළ විශාල නිර්මාණ සංඛ්‍යාවකට දායක වෙන්න තවම අවස්ථාව ලැබිල නැහැ. නමුත් “හාට්FM “ආකාශ කුසුම්” වැනි චිත්‍රපටවල මම කළ රංගනය ගැන මම හරිම තෘප්තිමත්. මම ඒ කළ චරිත ප්‍රේක්ෂකයින්ට හොඳින් දැනෙන්න ඇති කියල මම හිතනවා. හැබැයි රඟපෑමේදී චරිතවල විවිධත්වය ගැන මම ඒ තරම් හිතන්නේ නෑ. මම රඟපාන චරිතය ගැමි චරිතයක් ද, නාගරික චරිතයක් ද කියන එක ගැන මට විශේෂත්වයක් නෑ. මම සැමවිටම උත්සාහ කරන්නේ මට නිරූපණය කරන්න ලැබෙන චරිතය හොඳින් තේරුම් අරගෙන එය හොඳින් නිරූපණය කරන්න උත්සාහ කිරීමයි.
ඔබේ සැමියත් රංගන ශිල්පියෙක් නේද?
ඔව්, මගේ සැමියා ගයාන් ලක්රුවන්, එයත් රංගන ශිල්පියෙක්. නමුත් මේ දවස්වල එයා රංගන කටයුතුවල යෙදෙන්නේ නෑ. අපි අලුතෙන් ව්‍යාපාරයක් පටන් ගන්නවා නුගේගොඩ. ඒක අාහාර පාන අලෙවි කිරීමේ ව්‍යාපාරයක්. ගයාන් මේ දවස්වල වැඩියෙන් යෙදෙන්නේ ඒ වැඩවල.
මවක් වෙන්න දැන්ම ඔබට අදහසක් නැතිද?
නෑ තවම නෑ.
Share on Google Plus

About Pradeep Kumara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.