නිල බල බිඳ ජන ජය ලද ජෝති

කලා ශිල්පීන් කීප දෙනකුම අවාසනාවන්ත ලෙසින් මරු තුරුළට ගනිමින් කලා ලෝකයේ ඉතාම අඳුරු කාල පරිච්ඡේදයක් පසුගියදා ගෙවී ගියා. සිඩ්නි ආටිගලගෙන් පටන්ගෙන ලීිනස් දිසානායක, හර්බට් ඇම්.සෙනවිරත්න, පර්ල් වාසුදේවි, රමණි බර්තෝලමියුස් සහ එච්.ආර්. ජෝතිපාල දක්වා නොකඩවා එක දිගටම සිදුකෙරුණු මේ අවමඟුල් කිහිපයෙන් ඇදහිය නොහැකි, ඉසිලිය නොහැකි සිද්ධීන් දෙකක් වූයේ රමණිගේ සහ ජෝතිගේ මරණ දෙකයි. මේ මරණ දෙකින් මුළු රටම කොයි තරම් කම්පනයට, සංවේගයට, පත්වූයේ දැයි යන්න රටේ සතර දෙසින් කොළඹ කනත්තේ හතර මායිම් තෙරපවා යන්නට ගැලූ අසීමිත මහජන ගංගාවෙන් පැහැදිලියි.ජන ගඟක්ජෝතිපාලට අවසන් ගෞරවය දක්වනු පිණිස සැතපුම් ගණන් දිගට පෙළගැසුණු පෝලිම්වල අව්වට වේළෙමින් හා ඉහිරුණු මී මැසි පොදියක් ලෙසින් රැස් කන සෙනඟ අතරේ අනේක විද වධ හිංසා ඉවසා දරා ගනිමින් කනත්තට එක් රොක් වූ රසික කැල ජෝතිපාල පිළිබඳව මෙරට ජනතාව අතර පැවැති නියම ආකල්පය පිළිබිඹු කළා. ගායන ශිල්පියකුට අවසන් ගෞරවය දැක්වීමට එබඳු ජනකායක් එක් රැස් වුණු ප්‍රථම සහ අවසන් අවස්ථාව එයම වනවාට කිසිදු සැකයක් නෑ. හේතුව ජෝතිපාල බඳු අසීමිත ජනප්‍රියත්වයක් දිනූ ගායකයකු මින් ඉහත සිටියේවත් මතුවට ඇතිවන්නටත් බැරි නිසාය. ජෝතිපාල දෙස වපර ඇසින් බැලූ බොහෝ දෙනෙකුගේ ඇස් අරවන්නට සමත් වූයේ පසුගියදා රටේ සතර දෙසින් කනත්තට ගලා ආ මේ මහජන ගංගාවයි. ජෝතිපාල වෙනුවෙන් මෙබඳු පිරිසක් සිටින බව, මෙබඳු බලවේගයක් ගොඩනැඟී තිබුණු බව එදා පසක් කර ගත් බොහෝ දෙනකු ජෝතිට තමන් අතින් සිදු වූ කෙනෙහිලිකම්, අසාධාරණ අකටයුතුකම් පිළිබඳව හදවතින් වැලපුණාට සැකයක් නෑ.

නිතරගයෙන්

ජෝති දිනා සිටි මේ අසීමිත ජනප්‍රියත්වයේ හා ඔහු වෙනුවෙන් ගොඩනැඟී තිබුණු අදිසි බලවේගයේ රහස නම් ජෝති සාමාන්‍ය ජනතාව වෙනුවෙන් ගීත ගැයූ ගායකයකු හා ඔවුන්ගේ ළෙන්ගතු මිතුරකු වීමයි. ජෝතිපාල කිසිවකුගේ ගුරු හරුකම් නැතිව මඟ පෙන්වීමකින් තොරව අනේකවිධ දුක් කම්කටොලු මැද ස්වෝත්සාහයෙන් නැඟී සිට මුළු රටම පිනවූ ගීත කෝකිලයා බවට පත්වූයේ නිතරගයෙන්, බලවේග, කල්ලි, ගුරුකුලවලින් තොරව නිසඟ කුසලතාව නිසාම ඔහු තමන්ට හිමි නියත ස්ථාවරය දිනා ගත්තේ හැකියාව සමඟ අත්වැල් බැඳගත් ආත්ම ධෛර්යයද නිසා.

ජෝති වැඩි වශයෙන්ම ගායනා කළ හින්දි, දෙමළ, ඉංග්‍රීසි අනුකරණ ගීත ඔහුගේ ගායන කුසලතාව යටපත් කොට අපේ ඇතැමුන්ට රිසි පරිදි ඔහු කෙරෙහි කළු පැල්ලමක් මතු කරවන්නට සමත් වූ බව රහසක් නොවෙයි.

රසිකයන්ගේ මන‍ෙදාළ සපුරාලනු පිණිස තමන්ට අවාසිදායක වූ දුෂ්කරතාවන් පවා ජය ගනිමින් නමක් දිනාගත් ජෝතිපාල රටපුරා පැවැති සංගීත සන්දර්ශනවලට නැතිවම බැරි ගායකයා වූවා. එකල අතිශයින් ජනප්‍රියත්වයට පත්වූ 'ස්වර්ණ නෙත්', 'ස්වර්ණ හංසි' 'සාගරිකා' යන සන්දර්ශනවලදීත් 'ජෝති රාත්‍රිය' ඒක පුද්ගල ප්‍රසංගයේදීත් ජෝතිට වේදිකාවෙන් බසින්නට නොදී ගීත ඉල්ලා පොරකෑ රසික පිරිස ජෝතිපාල සමඟ බැඳී සිටියේ ගහට පොත්ත ලෙසින්.

සෙවණැල්ල

චිත්‍රපට ගීත ගායනයේදී ජෝති අභිභවා යන්නට සමත් ගායකයකු සිටියේද නෑ. ඒ තරමට ඔහු චිත්‍රපට ක්‍ෂේත්‍රයේ ඒකාධිකාරයක් ගොඩ නංවාගෙන සිටියා. මෙයට වඩාත්ම හේතු වූයේ ප්‍රධාන නළුවන් සියල්ලන්ටම සරිලන ලෙසින් මෙහෙයවිය හැකි උචිත කටහඬක් ඔහු සතු වීමයි. ආදායම් අතින් අතිශය සාර්ථක වූ සිංහල චිත්‍රපට සහ ජනප්‍රියත්වය අතින් ඉහළම හිණිපෙත්තට පත් නළුවන් පසුපස දැවැන්ත සෙවණැල්ලක් ලෙසින් සිටියේ ජෝතිපාල බව පැවැසීම හිතුවක්කාර තක්සේරුවක් නොවේ.

කැසට් ව්‍යාපාරයේ පැමිණීමත් සමඟ ජෝති කැසට් ලෝකයේදී වීරයෙක් වුණේ නිතැතින්. ඇතැම් මාසවලදී කැසට් පට හත අටකටම එකදිගට ගීත ගායනා කරන්නට ජෝතිට සිදුවූවා. කැසට් පටයක ගීත ගායනය සඳහා ඇතැම් ගායකයන්ට දින තුන හතරක් ගත වෙද්දී ජෝති බොහෝ විට ගීත 12ක් පැය දෙකක් ඇතුළත එක හුස්මට ගායනා කළ විස්්මිත අවස්ථා එමටයි. කැසට් වෙළෙඳපොළේ ඔහුගේ කැසට් අලෙවි වූයේ උණු කැවුම් පරිද්දෙන්.
සංගීත සන්දර්ශනවලදීත්, චිත්‍රපට ගායනයේදීත් කැසට් මාධ්‍යයේදීත්, ගුවන් විදුලි වැඩ සටහන්වලදීත් ඔහු වෙනුවන් රට පුරා විසිරී තිබුණු රසිකත්වය ප්‍රථම වතාවට එකට එක්වූ අවස්ථාව පසුගියදා කනත්ත වැනි තැනකදී අන්තිම වරට දකින්නට ලැබීම මුළු රසික පරපුරේම අවාසනාවක්.

අවතක්සේරුව

තමන්ට හිමි තැන පිළිබඳව සමාජයේ පැවැති විනිශ්චය ගැන කිසියම් අන්දමක අතරමං වූ පැහැදිලි ස්වභාවයක් ජෝති තුළ වූවා. මෙබඳු ආකල්පයක් ජෝති කෙරෙහි ඇතිවන්නට හේතු සාධක වූ කරුණු කීපයක්ම තිබෙනවා. එක්තරා කාල සීමාවක් තුළ මේ වැරැදි මතයෙහි මුල්ම බීජය පිළිසිඳ ගත්තේ ගුවන් විදුලිය තුළයි. ජෝතිපාලගේ ගායන හැකියාව පිළිබඳ නොව ඔහුගේ ගී පදමාලා සහ ඇතැම්විට ඔහුගේ පෞද්ගලික ජීවිතය පවා පාදක කර ගනිමින් අවතක්සේරුවකට බැසගත් එවකට ගුවන් විදුලියේ බලධාරීහු ජෝතිපාලගේ ගීත කප්පාදු කළේ පිළිකෙව් කළේ වහකදුරු ලෙසින්. කලකට ඉහත මෙබඳුම ඉරණමකට මුහුණ පෑ සුනිල් ශාන්ත මුළු රටම පිනවූ ගායකයකු ලෙසින් නමක් දිනාගෙන සිටි පරණ බයිසිකල්, පෙට්රල් ලාම්පු සහ ගුවන් විදුලි යන්ත්‍ර අලුත්වැඩියා කරන්නකු ලෙසින් පීඩාකාරී අසහනකාරී තත්ත්වයකට ඇද වැටීමේ පාපයටද හවුල් වූයේ ගුවන් විදුලියයි. නවසිය පනස් ගණන්වලදී ගුවන්විදුලි ශිල්පීන්ගේ කටහඬ පරීක්ෂා කරනු සඳහා ඉන්දියාවේ රතන් ජංකර්ගේ ප්‍රධානත්වයෙන් පැවැති පරීක්ෂණයකට පෙනී නොසිටීමේ 'වරදට' ගුවන්විදුලිය සුනිල් ශාන්තගෙන් පළිගත්තේ ඔහුගේ ගීත තහනම් කර ගුවන්විදුලි ශිල්පියෙක් හැටියට ඔහු දිනා සිටි නම සමූල ඝාතනය කර දමමින්ය. එදා ගුවන්විදුලිය කළ අසාධාරණ කෙනෙහිලිකම් ඉවසා ගත නොහැකිවූ සුනිල් ගුවන්විදුලිය අමතක කර දමා පිටත්වීම සඳහා සයිකල් කෑලි, පරණ ලාම්පු කබල් සමඟ පොරබදන්නට වූවා. එදා සුනිල්ට ඒ අසාධාරණය සිදුකළ බලධාරීහු ගුවන් විදුලියෙන් අල්ලපු වත්තේ පිහිටි රූපවාහිනියට පැනගෙන සිය අණසක පතුරුවද්දී ජෝතිපාලටද පසුකලෙක ඒ ඉරණමට මුහුණ දෙන්නට සිදුවුණා. ගුවන් විදුලියෙන් සුනිල්ට කළ අපරාධය ජාතික රූපවාහිනියෙන් ජෝතිපාලටද කළ නිලධාරි පැලන්තිය අභිභවා යන්නට ජෝතිපාල සමත් වුණා. අනෙක් සියලුම මාධ්‍යයන් මරාගෙන උපන් රූපවාහිනිය ප්‍රතික්ෂේප කළ ගායක ශිල්පියකුට රසිකයන් ඉදිරියට ඒමට බලගතු සටනක් කරන්නට සිදුවීම ස්වභාවිකයි. ජෝතිපාල මෙය ජයගත්තේ සුනිල්ට නොවූ ආත්ම ධෛර්යයක් ඔහු තුළ තිබූ නිසා.

අවමානය

යම් හෙයකින් ජෝතිපාල ආත්ම ධෛර්යයෙන් තොර අහිංසක පුද්ගලයකු වූවා නම් ඔහුද සුනිල් ශාන්ත ලෙසින් කලකිරුණු මානසික ස්වභාවයක් ඇති සාමාන්‍ය කලාකරුවකු ලෙසින් මිය යන්නට හොඳටම ඉඩ තිබුණා. ජෝතිගේ අවසන් මොහොතට රැස්කකා සිටි රසික පිරිස පාදක කරගෙන මේ සටහන ලියන්නට අප අදහස් කළේ ඒ මඟින් දෑස් අන්ධව වැරදි නිගමනයකට එළැඹීමෙන් නොව සැබෑ රසිකත්වයක් ගොඩනඟා ගත් කලාකරුවකුගේ ආත්ම ධෛර්යය තනතුරුවලින් ඉදිමුණු නිලධාරි පැළැන්තියට යටපත් කරන්නට නොහැකි බව පසක් කරන්නටයි.

ජෝතිපාල පිළිබඳවත් ඔහුගේ රසික කැල පිළිබඳවත් සැමදාමත් තක්සේරු වෙන් අපවාද අවලාද නැඟූ නිලධාරිවාදයේ කෙනෙහිලිකම් මැද මිය යන මොහොත දක්වාම නොසැලී නැඟි සිටි ජෝති වෙනුවෙන් ගලා ආ මහා මිනිස් ගංගාව පාලනය කරගත නොහැකි වූ තැන ඔවුන් පාදඩයන්, බේබද්දන් රස්තියාදුකාරයන් හැටියට ඇතැම් ජනමාධ්‍ය මඟින් හංවඩු ගසන්නට පටන්ගෙන තිබීම මියගිය ජෝතිපාලටත් ඔහු පිටුපස සිටි රසික බලවේගයටත් කරනු ලබන බලවත් අවමානයක් බව නොකියා නොහැකිය.

මක්නිසාද යත් ඒ මිනිස්සු ජෝතිගේ ගීතවලටත් වඩා ජෝතිපාලට ආදරය කළ බැවිනි.

ප්‍රේම් දිසානායක

Share on Google Plus

About Pradeep Kumara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.