සති දෙකකින් සමේ පැහැය වැඩි කරන ඉනදියානු ප්‍රතිකාරයක්


කිරි ස්වභාවධර්මයේ අසමසම නිර්මාණයකි. මෙලොව සියලු දේ නිර්මාණය වී ඇත්තේ මවුකිරිවලින් සහ හිරුඑළියෙන්. මේ දෙකට අමතරව එතරම් උසස් වෙනත් දෙයක් මෙලොව ඇත්තේ නැත. අපට මවුකිරි වටිනවා වගේම වෙනත් කිරි වර්ගද ආයුර්වේදයේ සඳහන් වන ආකාරයට ඔෟෂධීය මෙන්ම ආහාරමය ගුණයෙන්ද අනූනයි. ඒ අතුරින් එළකිරි, එළු කිරි ආදිය විශේෂයි.

එළකිරි ශරීරය පෝෂණය කරන (ජීවනීය) දේවල් අතුරින් ප්‍රධාන වන බවද එය රසායන (ශරීරය තරුණ කරන) ඔෟෂධයක් ලෙසද ආයුර්වේදයේ දැක්වේ. එළකිරි ශරීරය පෝෂණය කරයි, ශරීරය සිසිල් කරයි. එසේම එසේ පෝෂණය වැඩිකර සම පැහැපත් කරයි. කෙටියෙන් සඳහන් කරන්නේ නම් එළකිරි ඔබව තිරිහන් කරයි.

පෝෂිත ගුණය
එළකිරි ග්‍රෑම් 100ක කැලරි 42ක පමණ ශක්තියක් ශරීරයට නිපදවාගත හැකිය. මේදය 1ඨ ක්ද, කොලෙස්ටරෝල් මිලිග්‍රෑම් 5ක්ද, කාබොහයිඩ්රේට් ග්‍රෑම් 5ක්ද වශයෙන් තිබෙනවා. ඊට අමතරව ප්‍රෝටීන් ග්‍රෑම් 3.4ක්ද, සීනි ග්‍රෑම් 5ක් පමණද තිබෙනවා. තවත් විටමින් හා ඛනිජ වර්ග බොහොමයක්ම තිබෙනවා. ඒ නිසා එළකිරි අංගසම්පූර්ණ ආහාරයක්ද වෙනවා.

පර්යේෂණ
සම්පූර්ණ යොදය සහිත එළකිරි පානය කිරීමෙන් කාන්තාවන්ගේ සරුබව (fertility) වැඩිවන බව පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා. කිරිවල තිබෙන Linoleic acid වලින් රුධිරනාළ තුළ මේද තැන්පත් වීම (atherosclerosis) පිළිකා සහ අධිරුධිර පීඩනයෙන් ඔබව ආරක්‍ෂා කරන බව සොයාගෙන තිබෙනවා. ඊට අමතරව ඔබේ රෝගවලට ඔරොත්තු දීමේ හැකියාවද වර්ධනය කරනවා. එළකිරි මඟින් ඔබේ ශරීරයේ මාංසපේශී වර්ධනය කරනවා. මේ බව ආයුර්වේදයෙත් සඳහන් වෙනවා. එනම් ශරීරය පෘෂ්ටි කරන දේවල අතුරින් එළකිරිවලට ප්‍රධාන තැනක් හිමිවෙනවා. එමෙන්ම 2010 වසරේදී ඇමෙරිකාවේදී කරනු ලැබූ පර්යේෂණයකින් එළකිරිවල ඇති Trans palmitoleic acid මඟින් දියවැඩියාව හැදීමේ (Type - II Diabetes) අවදානම අඩුකරන බවද සොයාගෙන තිබෙනවා.

රූමත්වෙන්න එළකිරි
ඉහත දක්වා ඇති පෝෂණමය ගුණයන්ට අමතරව එළකිරි ඔබේ සුන්දරත්වය වැඩිකර ගැනීමට යොදාගත හැකිය. එළකිරි නිරතුරුව පානය කිරීමෙන් ඔබේ තරුණ බව ආරක්‍ෂා වෙනවා. ඒ වගේම සම ඉතා පැහැපත් වෙනවා. බොහෝ රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා එළකිරි යොදාගන්නවා.
එළකිරි තරුණ බව ආරක්‍ෂා කර ගැනීමට භාවිත කරන බවට අවුරුදු දහස් ගණනක සිට තොරතුරු හමුවෙනවා. එළකිරිවල තිබෙන Lactic acid වලින් සමේ තිබෙන මැරුණු සෛල ඉවත්කර හම පිරිසුදු කිරීමට උදවුවෙනවා. ඒ වගේම හමේ ඉතා පැහැපත් බවක් ඇති කරනවා. සම ඉතා මොලොක් බවකින් යුක්ත කරනවා. කිරිවල තිබෙන ස්වාභාවික Alpha - hydooxy acid (AHA) මඟින් සම මටසිලිටු කරනවා. එළකිරිවල අඩංගු මේදය මඟින් සම වියළීම වළක්වනවා. මෙම පර්යේෂණවල ප්‍රතිඵල වශයෙන් එළකිරිවල අඩංගු විවිධ රූපලාවණ්‍ය නිෂ්පාදන වෙළෙඳපොළට ඇවිත් තිබෙනවා.
එළකිරිවල අඩංගු Plospholipids මඟින් හමේ රැලිවැටීම් අවහිර කරනවා. සම පැහැපත්ව තබා ගන්නවා.

එළකිරි අඩංගු සම
පැහැපත් කරන ඔෟෂධ
• සම පිරිසුදු කිරීම සඳහා භාවිත කරන Clenser පිළියෙල කිරීම සඳහා එළකිරි යොදාගන්නවා. උදාහරණයක් වශයෙන් වියළි සමක් පිරිසුදු කිරීමට කෝමාරික මඳ යුෂ හා එළකිරි මිශ්‍රකර සාදා ගන්නා මිශ්‍රණය සුදුසුයි. ඉන්පසුව භාවිත කරන Scrub සඳහාද එළකිරි යොදාගනී. මේ සඳහා වෙනිවැල්ගැට හා සුදුහඳුන් සිහින් කුඩු එළකිරි සමඟ මිශ්‍රකර යොදා ගත හැකිය. එසේ නැතහොත් තෙත් සහිත සමකට නම් කැරට් හා බීට්රූට් එළකිරිවලින් තම්බා පොඩිකර ආලේප කළ හැකිය.

මුහුණට යොදන  Facial Mask සඳහාද එළකිරි යොදාගනී. උදාහරණයක් වශයෙන් අරළු හා වැල්මීවල සිහින් කුඩු එළකිරි සමඟ මිශ්‍රකර සාදාගන්නා ආලේපය මුහුණට යෙදීමෙන් මුහුණ පිරිසුදුවී මුහුණේ මාංසපේශී ශක්තිමත් වේ. නැතහොත් පරිප්පු, සුදුහඳුන්, මීපැණි යන ඒවායේ මිශ්‍රණය එළකිරි සමඟ අනා මුහුණේ ආලේප කිරීමෙන් බලාපොරොත්තු වන ප්‍රතිඵල ලබාගත හැකිය.

එළකිරි ආහාරයට ගැනීමෙන් මෙන්ම රූපලාවණ්‍යයේදී භාවිත කරන විවිධ ආලේපන සඳහාද එළකිරි යොදා ගැනීමෙන් සම පැහැපත් වෙනවා වගේම නිරෝගී වෙනවා. මීට අමතරව එළකිරි තවත් ක්‍රම කීපයකටම යොදාගන්න පුළුවන්.

ශිරෝධාරා ප්‍රතිකාර
මඳ උණුසුම් එළකිරි නළල මැද සිට හිසට වැටීමට සැලැස්වීම මෙම ශිරෝධාරා ප්‍රතිකාරයය. මෙය හිසකෙස් ආශ්‍රිත රෝගවලට, ඇස් යට හම කළුපැහැවීම සහ නින්ද නොයෑම නිසා ඇතිවන තත්ත්වයන්ට පිළියමක් ලෙස බහුලව භාවිත කරනවා. ඉන්දියාවේ මෙය රූපලාවණ්‍ය ප්‍රතිකාරයක් ලෙස භාවිත කරන තරමක් මිල අධික ක්‍රමයක් තමයි ශිරෝධාරා කියන්නෙ. මේ සඳහහා කිරි යොදාගන්නා නිසා මෙයට 'ක්‍ෂීරධාරා' කියලත් කියනවා. සත්‍ය වශයෙන් මෙය ඉතා විස්මිතයි. ශරීරය, සම ඉතාම පැහැපත් වෙනවා. තරුණ පෙනුමක් ලැබෙනවා. මේ ප්‍රතිකාරය දිනපතාම අඩුතරමින් දින 14ක් වත් කරන්න අවශ්‍යයි.

ක්‍ෂීර අවගාහනය
මෙයින් අදහස් කරන්නේ එළකිරිවලින් පිරුණු ද්‍රෝණියක (Tub) එකක හිසහැර අනෙක් ශරීර ප්‍රදේශයේ ගිල්වා තැබීමයි. එසේ නැතහොත් එළකිරිවලින් ශරීරය සම්පූර්ණයෙන්ම දෝවනය කිරීමයි. මෙයද ඉතා වියදම් අධික ප්‍රතිකාර ක්‍රමයක්. මේ මඟින් සමේ වියළි බව කෙටි කාලයකදී නැතිවී සම පැහැපත් වෙනවා. මෘදු මොළොක් වෙනවා. සමේ දුර්වර්ණවීම් ඉවත් වෙනවා. සමේ ලප කැළැල් ඉවත් වෙනවා. කෙටියෙන් කියනව නම් සම තරුණ වෙනවා. ඔබ තරුණ වෙනවා.
මේ අනුව පැහැදිලිවන දෙයක් නම් එළකිරි පූර්ණ ආහාරයක් වගේම විවිධ රෝග අවස්ථා වැළැක්වීම සඳහා යොදා ගන්නා මාහැඟි ඔෟෂධයක්.

මීට අමතරව රුව රැකගැනීම සඳහා යොදාගන්නා බොහෝ නිෂ්පාදනවලට එළකිරි නැතුවම බැරි අමුද්‍රව්‍යයක්. මේවායේ ඇති දේශීය අමු ද්‍රව්‍ය සමඟ එළකිරි මිශ්‍රකර ස්වාභාවික රූපලාවණ්‍ය ඔෟෂධ නිෂ්පාදනයන්ට එළකිරි ඉතා අවශ්‍යය. ක්‍ෂීරධාරා හා ක්‍ෂීර අවගාහන ප්‍රතිකාර මිල අධික වුවද ඉතාම ප්‍රතිඵලදායි වෙනවා. එමෙන්ම ඉතා කෙටිකලකින් ඉතා උසස් ප්‍රතිඵල ලබාදෙනවා.

Post a Comment

Previous Post Next Post