තන පුඩුව ඇතුළට ගිලී තිබේනම් එය පිළිකාවක් විය හැකියි

පියයුරු සම්බන්ධ ගැටලු නිසා බොහෝ කාන්තාවන් පිඩාවට පත්වන්නේ ලැජ්ජාව නිසාමයි. බොහෝදෙනෙකු පියයුරුවල පවතින රෝගී තත්ත්වයන් සඟවන්නට උත්සාහ ගැනීම නිසාම, අසාධ්‍ය තත්ත්වයට පත් වූ අවස්ථා ගැන රෝහල්වලින් ඕනෑ තරම් අසන්නට ලැබෙනවා.
පියයුරු සම්බන්ධ මූලික දැනුමක් අපි පසුගිය සතියේ ඉදිරිපත් කළා. මේ ලිපිය පියයුරු ආශි‍්‍රතව ඇතිවන වේදනාවන් හා රෝගී තත්ත්වයන් පිළිබඳවයි. මේ සම්බන්ධව ප්‍රජා වෛද්‍ය විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආරියසේන යූ. ගමගේ මහතා දැක්වූ අදහස් මෙසේයි.

පියයුරුවල වේදනාව මෙන්ම ගැටිතිද කාන්තාවන් මුහුණ දෙන ප්‍රධාන ගැටලු අතර වෙනවා. කාන්තාවකගේ ආර්තවය ඇතිවීමට දින කීපයකට පෙර සිට ඇතිවන පියයුරුවල වේදනාව නිසා කාන්තාවන් පීඩාවට පත්වෙනවා. එමෙන්ම ගර්භණී කාලයේදීද සමහර කාන්තාවන්ට පියයුරු වේදනාවක් ඇතිවිය හැකියි. එමෙන්ම පවුල් සංවිධානය පෙති ලබා ගන්නා සමහර කාන්තාවන්ගේද පියයුරුවල වේදනාව ඇති වෙනවා.

එවන් අවස්ථාවලදී වෛද්‍යවරයෙකු වෙත යොමුවීම වැදගත් වෙනවා. එවිට හෝර්මෝන අඩු මාත්‍රාවකින් යුතු පෙති වෛද්‍යවරයා විසින් නියම කරනු ලබනවා. පියයුරුවල වේදනාවන් ඇතිවන කාන්තාවන්ට පහත ක්‍රම අනුගමනය කිරීම මඟින් එම වේදනාව සමනය කරගත හැකි වෙනවා.



* පියයුරුවලට ගැලපෙන බ්‍රෙසියරයක් අඳින්න.
* රාතී‍්‍ර කාලයේදී සහ නිදා ගන්නා විටද බ්‍රෙසියරය ඇඳ සිටින්න.
* ඊ විනිං පි‍්‍රම් රෝන්ස් ඔයිල් (Evening Primrose Oil) කරල් වෛද්‍ය උපදෙස් මත ලබා ගන්න.
* විටමින් වෛද්‍ය උපදෙස් මත ගන්න.
* ඇස්පී‍්‍රන් වැනි වේදනා නාශක ඖෂධ වෛද්‍ය උපදෙස් මත ලබා ගන්න.

ඉහත සඳහන් ප්‍රතිකාර වලින්ද සුවයක් නොලබන්නේ නම් පවුල් සංවිධාන පෙති වෛද්‍ය උපදෙස් මත ප්‍රතිකාරයක් ලෙස ලබා ගත හැක.

කාන්තාවන් අතර පවතින ගැටලු අතරින් පියයුරුවල ප්‍රමාණය ප්‍රධාන තැනක් ගන්නවා. එමෙන්ම පියයුරුවල ප්‍රමාණය සහ ලිංගික ශක්තිය අතර ඇති සබඳතාවය කුමක්ද යන්නත් ගැටලු ලෙස පවතිනවා.

ලිංගික ශක්තිය හා පියයුරුවල ප්‍රමාණය අතර කිසිදු සබඳතාවක් දක්නට ලැබෙන්නේ නැහැ. පියයුරු කුඩා වුවද විශාල වුවද පියයුරුවල සංවේදීතාව එක හා සමානයි. පියයුරුවල විශාලත්වයට ප්‍රධාන වශයෙන් බලපාන්නේ ක්ෂීර ග්‍රන්ථිය වටා ඇති මේද ප්‍රමාණයයි.

එමෙන්ම එකම කාන්තාවගේ වුවද බොහෝ අවස්ථාවල පියයුරු දෙකම එක සමාන වන්නේ නැහැ. ඒ පිළිබඳව බියක් ඇතිකර ගත යුතු වන්නේ නැහැ.
එවැනි තත්ත්ව ස්වභාවිකයි.


සමහර කාන්තාවන්ගේ පියයුරු විශාල වීමත් සමහර කාන්තාවන්ගේ පියයුරු කුඩා වීමටත් හේතුන්නේ ප්‍රවේණිගත සාධකයි. තම පියාගේ හෝ මවගේ පාර්ශවයේ කාන්තාවන්ගේ පියයුරුවල ප්‍රමාණයන් අනුව එක් එක් අයගේ පියයුරුවල ප්‍රමාණයද වෙනස් වෙනවා.

මේ කරුණුවලට අමතරව කාන්තාවගේ පෝෂණ තත්ත්වයද පියයුරුවල වර්ධනයට බලපාන ප්‍රධාන සාධකයක් වෙනවා. එමෙන්ම කාන්තාවගේ රැකියාවේ ස්වභාවය ව්‍යායාම මෙන්ම ගර්භනීතාවයද පියයුරුවල ප්‍රමාණයට බලපානවා.

පියයුරු මත රෝම කූප වර්ධනය වීමද කාන්තාවන් පීඩාවට පත් කරවන්නනක් වෙනවා. සමහර කාන්තාවන්ගේ තන පුඩුව වටා ඇති අදුරු පැහැ කොටස වන ඇරියෝලාව ප්‍රදේශයේ රෝම කූප වර්ධනයවීම අස්වාභාවික කරුණක් නොවේ. කෙසේ වෙතත් පියයුරු මත රෝම කූප පිහිටීම අවලස්සනක්ගෙන එන්නේ නම් වෛද්‍ය උපදෙස් මත ඒවා ඉවත් කරවා ගැනීමට කටයුතු කර ගැනීම වැදගත් වෙනවා.

සමහර කාන්තාවන්ගේ තන පුඩු ඇතුළට ගිලී ගොස් පවතින අවස්ථා ගැනද වාර්ථා වෙනවා. තන පුඩුව දීර්ඝ කාලයක් තිස්සේ ඇතුළට ගිලී තිබේ නම් එය පිළිකාවක් නිසා විය හැකියි. එසේ නොවන අවස්ථාවලදී තන පුඩුව ඉදිරියට නෙරා ඒමට අවශ්‍ය වන ලෙස එය ඇඟිලි තුඩු මතින් ඇදීම කළ යුතුයි. එසේ නොවූ විට අනාගතයේදී මවක් වූ විට දරුවාට මවුකිරි ලබාදීමේදී ගැටලු ඇති වෙනවා. පියයරුවල හටගන්නා ගැටිති අතරින් 90%ක් පිළිකා නොවන අතර 10%ක් පිළිකා විය හැකියි. මේ නිසා පියයුරේ ගැටිත්තක් පවතින්නේ නම් පියයුරු ස්වං පරීක්ෂාවක් කර ගැනීම ඉතාම වැදගත් වෙනවා.



කාන්තාවකට බ්‍රෙසියරයක් ඇදීම මඟින් වාසි කිහිපයක් අත් වෙනවා.

* පියයුරු වේදනාවට ප්‍රතිකාරයක්
* පියයුරු ආරක්ෂා කර ගැනීම සඳහා
* පියයුරු අනවශ්‍ය ලෙස නිරාවරණය වීම වළක්වා ගැනීමට
* සිත් ඇද ගන්නා සුළු ඇඳුමක් ලෙස රූපාලංකාරයට
* රිද්මයානුකූල ව්‍යායාම හෝ වෙනත් කටයුතු කිරීමේදී කාන්තාවට ඇතිවන අපහසුතාවයන් අවම කර ගැනීමටද බ්‍රෙසියරය ඇඳීම වැදගත් වෙනවා.

කෙසේ වුවද පියයුරේ පවතින අස්වාභාවික තත්ත්ව වන පියයුරේ හැඩය වෙනස්වීම, පෙරට වඩා පියයුර විශාල වීම පියයුර මත පිහිටි සම ඝනවීම හෝ තිත් තිත් සේ ඇතුළට එබී තිබීම, කිහිල්ල ප්‍රදේශයේ ඉදිමුම, තන පුඩුවලින් දියරයක් ගැලීම, තන පුඩුව ඇතුළට එබී තිබීම සහ තන පුඩුව වටේ ඇති ඇරියෝලාව නම් වූ අදුරු ප්‍රදේශය ඇතුළට එබී ඇත්නම් හැකි විගස වෛද්‍යවරයකු හමු වී පියයුරු පරීක්ෂාවක් කරගත යුතු වෙනවා.

දුමින්ද සම්පත්
(arogya)
Share on Google Plus

About Pradeep Kumara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.