මවගේ පසු ප්‍රසව සමය
දරු ප්‍රසූතිය සඳහා රෝහල් ගතවුණු ඔබ දැන් කිරිකැටියකුගේ මවක්. ඔබේ කිරිකැටියා නිවෙසට කැඳවාගෙන යන්න කටයුතු සූදානම්. ඊට පෙර ඔබ අවධානය යොමු කළ යුතු කරුණු කිහිපයක් තිබෙනවා.
ඔබේ කිරිකැටියාට නව නිවෙස ආගන්තුකයි. ඒත් ඒ ආගන්තුක බව මඟහරවා ගැනීමට කටයුතු කළ යුතුයි. නිවෙසේ සිටින සාමාජිකයන්ගෙන් ඉටුවිය යුතු වගකීම ඉහළයි. මුලින්ම ඔබේ කිරිකැටියාව ආදරයෙන් හා සෙනෙහසින් පිළිගත යුතුයි. ඔබේ කුලුඳුල් දරුවා පිළිගැනීමේදී ඔබ ක්‍රියාකළ ආකාරය දෙවැනි හෝ තෙවැනි කිරිකැටියාටත් එලෙසින්ම ලබා දෙන්න.
මව හා පියා තම දෙවැනි දරුවා ලෙස පුතෙක් බලාපොරොත්තුවෙන් සිටියේ නම් එහෙත් අනපේක්ෂිත ලෙස දුවකු බිහිවීමෙන් කිරිකැටියා පිළිගැනීමේදී යම් මානසික ව්‍යාකූලතාවකට පත්විය හැකියි. මෙවැනි අවස්ථාවල මවුපියන් අතර දබර ඇතිවන අවස්ථාද පවතී. මේ නිසා දුවකු වුවත් පුතකු වුවත් ඔබ ආදරය දැක්වීමේදී මෙන්ම පිළිගැනීමේදීද වෙනසක් සිදු නොකරන්න.
නිවෙසේ පිරිසුදුකම
ඔබේ කිරිකැටියා නිවෙසට කැඳවාගෙන ඒමට පෙර නිවෙස හා අවට පිරිසුදු කිරීම අතිශය වැදගත්ය. නිවෙසේ කුණු දූවිලි ඉවත් කරමින් සෝදා පිරිසුදු කර හොඳින් වාතාශ්‍රය ඇතුළු වෙන්න සලස්වන්න. දරුවා කැඳවාගෙන ඒමෙන් පසුව පිරිසිදු කිරීමට සිටීමෙන් දරුවා අපහසුතාවට ලක්විය හැකියි. ඒ නිසා දරුවා නිවෙසට ගෙන ඒමට ප්‍රථම එය ප්‍රසන්න ස්ථානයක් කරගන්න. දරුවා රඳවන කාමරය ඇසට ප්‍රිය වර්ණ ආලේප කරමින් කුඩා දරුවන්ගේ ඇසට ප්‍රිය පින්තූර භාවිත කරමින් එහි අලංකාරවත් හා වටාපිටාවක් ගොඩනඟන්න.
මවගේ සුවතාව
මවට දින හෝ සති ඇතැම් විට මාසයක් වැනි කාලයක් රෝහලේ නතර වී සිටීමට සිදු වූ නිසා යම් යම් ශාරීරික අපහසුතා ඇති විය හැකියි. ඇය නිවෙසට පැමිණෙන්නේ ද මේ අපහසුතා සමඟ නිසා මවගේ සියලු කාර්යයන් වලට සහයෝගය අවශ්‍ය වෙයි. මෙහිදී ඇයගේ කටයුතුවලට සැමියාගේ හෝ වෙනත් ඥාතියකුගේ සහයෝගය ලබාදීමට කටයුතු කරන්න. එමෙන්ම කුලුඳුල් දරුවා නම් මවට නව අත්දැකීමක් නිසා අනිවාර්යයෙන්ම මවගේ මෙන්ම දරුවාගේ කටයුතුවලට තවත් අයකුගේ සහාය අවශ්‍යයයි.
මානසික සුවය
වෙනදාටත් වඩා මවගේ මානසික සුවදායීතාව තිබිය යුතුයි. එමෙන්ම මවට විවේකය අත්‍යවශ්‍යයි. මේ නිසා පවුලේ සෙසු සාමාජිකයන්ගේ වගකීම වන්නේ මව හැකිතරම් සතුටින් තැබීමයි. මීට අමතරව මවුකිරි ලබාදීමට උනන්දු කරවීම, නිතරම මවගේ සෞඛ්‍ය තත්ත්වය ගැන අවධානයෙන් පසුවීම, මව පෝෂ්‍යදායී ආහාර වේලකට යොමු කිරීම විශේෂයෙන් ප්‍රධාන ආහාරවේල් තුනට අමතරව කෙටි ආහාර වේල් දෙකක් පමණ ලබාගත යුතුයි. මන්ද මවුකිරි ලබාදීම සඳහා මවට හොඳ පෝෂණයක් අවශ්‍ය වන බැවිනි.
තව දරුවන් ඉන්නවා නම්
ඔබට දැනටමත් වැඩිහිටි දරුවන් සිටිනවා නම් නිවෙසට එකතුවන නංගි හෝ මල්ලි පිළිබඳ කරුණු වටහා දෙන්න. කිරිකැටියා හුරතල් කිරීමට, ස්පර්ශ කිරීමට වැඩිහිටි දරුවන්ට අවස්ථාව ලබා දෙන්න. ඒ සෑම විටම දරුවාගේ ආරක්ෂාව පිළිබඳ දෙවතාවක් සිතන්න. වැඩිහිටි වුවද අවුරුද්දක් හෝ අවුරුදු දෙකක පමණ දරුවන්ට අනතුරු පිළිබඳ එතරම් අවබෝධයක් නොමැති නිසා කිරිකැටියා අසල ගැවසෙන වැඩිහිටි දරුවන් කෙරෙහි වැඩි අවධානයක් ලබා දෙන්න. ඇතැම් විට වැඩිහිටි දරුවන්ට කිරිකැටියා පිළිබඳ ඊර්ෂ්‍යාවක් වැනි දෙයක් ඇතිවීමට හැකියි. මේ නිසා මවුපියන් දරුවන්ට ආදරය දැක්වීමේදී අතිශය පරිස්සම් විය යුතුයි.
අවට පරිසරය
කර්මාන්ත ශාලාවලින් පිටවන දුම්, අපද්‍රව්‍ය ආදිය කිරිකැටියාගේ සෞඛ්‍යයට බෙහෙවින්ම අහිතකරයි. එමෙන්ම අධික ඝෝෂාව නිසා කිරිකැටියාගේ නින්දට බාධා ඇතිවිය හැකියි. මේ නිසා මෙවැනි කරුණු කෙරෙහිද ඔබේ අවධානය යොමු කරන්න.
පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය
මව නිවෙසට පැමිණි වහාම තම ප්‍රදේශය භාරව සිටින පවුල් සෞඛ්‍ය නිලධාරිනිය දැනුම්වත් කරන්න. රෝහලේ ඔබ ගත කරන කාලයේදී එහි කාර්ය මණ්ඩලය ඔබේ හා දරුවාගේ සෞඛ්‍ය තත්ත්වය යහපත්ව පවත්වා ගැනීමට උදවු වූ ආකාරයෙන්ම නිවෙසට පැමිණි පසු ඒ පිළිබඳ සොයා බලන්නේ පවුල් සෞඛ්‍ය නිලධාරිනියයි. මෙහිදී ඔබේ හා දරුවාගේ ශාරීරික හා මානසික අපහසුතා මඟහරවා ගැනීමටත්, නිසි පරිදි සායනවලට සහභාගි වීමටත් අවශ්‍ය දින පිළිබඳ උපදෙස් ලබා ගැනීමට හැකිවනු ඇත.
පසු ප්‍රසව සමය
දරු ප්‍රසූතියෙන් පසු වැදගත්ම කාලය පසු ප්‍රසව සමයයි. ඒ කාලය තුළදී ඔබට අවශ්‍ය නින්ද හා විවේකයත්, සෞඛ්‍ය අධ්‍යාපන ඒකකය මඟින් ඉගෙන ගත් ව්‍යායාමත් අමතක නොකර විටමින්ද නොකඩවා ගැනීමට උනන්දු වන්න.
දරු ප්‍රසූතියෙන් පසුව ඔබගේත්, දරු පැටියාගේත් ආරක්ෂාව තවත් දුරට තහවුරු කර ගත යුතුයි. බොහෝ දෙනෙක් දරු ප්‍රසූතිය අවසන්වීමත් සමඟම මව සහ දරුවා සියලු අවදානම් තත්ත්වවලින් නිදහස් වූණා යැයි සිතයි. එහෙත් කවර ක්‍රමයකට දරුවා ප්‍රසූත කළත් දරු ප්‍රසූතියත් සමඟම ඇතිවන ශාරීරික වෙනස්කම් හා සෞඛ්‍ය ගැටලුවලට මුහුණදීමට සිදුවෙයි. එමෙන්ම අලුත උපන් දරුවාට ද මෙවැනි ගැටලු ඇතිවිය හැකියි.
දරුවා ඉපදී දින 42ක් පමණ ගතවන තුරු ගැටලු පිළිබඳ ඉතා හොඳ කල්පනාවකින් සිටීමෙන් ඒවා අවම කරගත හැකිය. මේ සඳහා ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය කාර්ය මණ්ඩලය හා පවුල් සෞඛ්‍ය නිලධාරිවරයාගෙන් සහාය ලබාගන්න.
විශේෂයෙන් දරුවාගේ පිරිසිදුකම කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන්න. ආසාත්මිකතාවලට දරුවා ගොදුරු වීමට මෙය ප්‍රධාන හේතුවක් විය හැකියි.
මවගේ ගැටලු
පසු ප්‍රසව කාලය තුළ මවට ඇතිවිය හැකි සෞඛ්‍ය ගැටලු කෙරෙහි අවධානය යොමු කරන්න.
• යෝනි මාර්ගයෙන් අධිකව රුධිරය ගැලීම.
• යෝනි මාර්ගයෙන් දුගඳ හමන ශ්‍රාවයක් පිටවීම (උණ රෝගය ඇතිව හෝ නැතිව)
• අධික හිසරදය
• පපුවේ වේදනාව, හතිය, හුස්ම ගැනීමේ අපහසුතාවක් ඇතිවීම.
• කකුලේ කෙණ්ඩවල වේදනාව සමඟ ඇවිදීමට අපහසුතාවක් ඇතිවීම.
• දින දෙකකට වඩා ඇතිවන උණ
මේ රෝග හෝ රෝගවලින් එකක් හෝ පැවැතියේ නම් ඉතා ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන්න. පැයක, දෙකක හෝ ප්‍රමාදය සමහර විටක ඔබගේ ජීවිතයට අවදානමක් තිබෙන බව මතකයේ තබා ගන්න.
දරුවාගේ ගැටලු
මේ කාලයේ දරුවාට ඇතිවිය හැකි සෞඛ්‍යමය ගැටලු
• හොඳින් මවුකිරි උරාබොමින් සිටි දරුවා මවුකිරි උරාබීමට දක්වන අපහසුව හෝ කිරි උරාබීම ප්‍රතික්ෂේප කිරීම.
• කිරි උරා බොන විට දරුවා නිල් පැහැ ගැන්වෙනවාද යන්න.
• කෙඳිරිගෑමක් සහිත හුස්ම ගැනීම.
• දුර්වල හැසිරීම.
• අතපය සුදුමැලි වීම, සීතලවීම, අප්‍රාණික ගතියක් පෙන්වීම.
• ඉපදී දින 100කට පසුවත් පවතින ඇඟ කහපාට වීම.
• පෙකණිය මඟින් දුගඳක් වහනය වීම හා ශ්‍රාවයක් පිටවීම.
දරුවාගේ ද මෙවැනි රෝග තත්ත්වයන් හඳුනාගත් වහාම වෛද්‍ය උපදෙස්වලට යොමුවන්න. රෝහලේදීත් නිවෙසේදීත් දරුවාගේ මව හැර වෙනත් අය සිඟිත්තා අතපත ගෑමෙන් දරුවා රෝගී වීමට ඇති ඉඩකඩ වැඩි බව මතකයේ තබාගන්න.
ලයනි රසිකා නිරෝෂිණී
යූ.එල්.පී. කාරියවසම්
හෙද සොහොයුරිය,
ද සොයිසා කාන්තා රෝහල
16 වාට්ටුව