හිමාලි සිරිවර්ධන යනු වත්මන් පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක වගේම නර්ථන ශිල්පිනියක්. ඇය පසුගිය දිනවල හිරු dancing star තරගයේ හොඳම නර්ථන ශිල්පිනිය ලෙස පිදුම් ලැබූ ඇය පසුගිය කාලයේ මේ සියල්ලෙන්ම ඈත්වෙලා නිහඬවෙලා හිටියා. හිමාලි පසුගිය කාලයේ නර්ථනයෙන් සහ රංගනයෙන් ඈත්ව සිටින්නේ ඇයිදැයි හිමාලිට ආදරය කරන රසික රසිකාවියන් අපෙන් විමසුවා.එයට හේතුව හිමාලි මවු පදවිය ලැබීමයි.ඒ ගැන රසඳුනට කියන්නට ඇය අමතක කෙළේ නැහැ.
ඉතින් කොහොමද හිමාලි.
ජීවිතේ ගොඩක්ම සතුටෙන් ගත කරන කාලය උදාවුණා.
මොකක්ද ඔය තරම්ම සතුටට හේතුව
විවාහ වී වසර එකොළහකට පසුව අපිට පුතෙක් ලැබුණා. දැන් එයාගේ වයස මාසයයි දවස් දහයයි. කියාගන්න බැරි සතුටකින් තමයි දැන් අපේ දවස් ගෙවෙන්නේ.
මවක ලෙස හිමාලිට දැන් හීන ගොඩක් ඇති නේද?
අනේ ඔව්. මගේ ලොකුම හීනය හැබෑ වුණා. ඒ මගේ පුතා සචෙල් පෙරේරා අපේ ලෝකයට එකතුවීමයි. මෙච්චර කාලයක් දැක්ක හීන නෙමෙයි දැන් දකින්නේ. දැන් දකින හැම හීනෙකම ඉන්නෙ පුතා. එයාගේ අනාගතේ ගැන තමයි උදේ හවා හීන දකින්නෙ.
පුතා වෙනුවෙන් හිමාලි ගොඩක් කැප කිරීම් කළා
ඔව්. පුතා ලැබෙන්න මාස පහක් වනතුරු හිරු රියැලිටි වැඩසටහනක විනිශ්චය සඳහා සහභාගි වුණා. ඉන් පසුව පුතා ඉපදී අද වෙන තුරු කිසිම වැඩක් කළේ නැහැ. පුතා වෙනුවෙන්, ඔහුගේ පෝෂණය වෙනුවෙන් තමයි මුළු කාලයම කැප කළේ.
ඇයි දරුවකුගේ සිහිනය සැබෑ කරගන්න ප්රමාද වුණේ.
ඇත්තමයි. කලාවේ නිරතව සිටි නිසා කාලය ගෙවුණා දැනුණෙම නැහැ. දැන් හිතෙනව මීට පෙර දරුවෙක් ලැබුණා නම් දැන් ලොකුයි නේද කියලා.
ඉදිරියේදි හිමාලි නර්ථනයෙන් ඈත්වෙයිද?
අපෝ නැහැ. මම මැරෙනතුරු නටනවා. නමුත් සෙන්සේෂන් මගේ ඩාන්සින් ගෲප් එක නම් නැතිවෙයි. මොකද ජනතාව ඉල්ලන්නෙ හිමාලි සිරිවර්ධන එක්ක සෙන්සේෂන්. නමුත් මගේ කාර්ය බහුලත්වයත් එක්ක මට ප්රසංග සඳහා යන්න බැරිවෙයි. ඒ නිසා නර්ථන කණ්ඩායම පවත්වාගෙන යෑම අපහසු නිසා තනිව නර්ථන ශිල්පිනියක ලෙස වැඩ කරන්න සිදුවේවි.
කොයි විදිහටද ඔබ කලාවේ නියැළෙන්න බලාපොරොත්තුව.
මේ දවස්වල නම් මම ටිකක් මහත් වෙලා. පුතා ලැබෙන්න ඉන්නකොට කිලෝ පනහයි. බබා ලැබෙනකොට කිලෝ අනූවයි. තව මාසයකින් විතර එක්සසයිස් පටන්අරගෙන ශරීරය නැවතත් යථාතත්වයට පත්කරගන්න ඕනි. ඉන් පසුව නැවතත් රංගනයට වගේම නර්ථනයටත් එක් වෙනවා .මොකද නර්ථනය තමයි මගේ කැමැතිම කලාව. ඒකෙන් මිදිලා ඉන්න එක අමාරුයි.
දේශපාලනයට යන්න හිමාලිට බලාපොරොත්තුවක් නැද්ද?
අපේ රටේ දේශපාලනයට මම කොහෙත්ම කැමැති නැහැ. දන්න කෙනෙකුට යන්න දෙන්නෙත් නැහැ. දේශපාලනය නිසා තමයි අපේ රටට මේ තත්ත්වය ඇතිවුණේ.
ජනතාවට සේවය කරන්න පුළුවන් කොහොම කියලද හිතන්නෙ?
ජනතාවාට සේවය කරන්න දේශපාලනය කරන්නම ඕන නැහැ. මම වුණත් නිශ්ෂබ්දව මට පුළුවන් විදිහට මිනිසුන්ට උදවු කරනවා. විශේෂයෙන් මගේ උපන්දිනයට උත්සව අරන් සමරන්නෙ නැතුව ඒ මුදල් වලින් නැති බැරි මිනිසුන්ට උදවු කරනවා. ඉතින් ඒ දේවල් කරන්න දේශපාලනයට යා යුතු නැහැ.
හිමාලිට විදෙස් සංචාරයට අවස්ථාවක් ලැබුණොත් .
ඉතාලි යන හීනය කලක සිට තියෙනවා. මොකද මම කතෝලික භක්තිකයකු ලෙස ඉතාලියේ තමයි අපේ පූජනීය ස්ථාන රැසක් තියෙන්නේ. ඒවා දැක බලාගෙන වැඳ පුදාගන්න යන හීනය කෙහොම හරි මැරෙන්න කලින් සැබෑ කරගන්නවා.
පුතා අනාගතයේ කවුරු කරන්නද හීන දකින්නේ.
මගෙත් සැමියා ෂෙනාල්ගෙත් එකම බලාපොරොත්තුව අපේ පුතා කවදා හෝ හොඳ නිර්භීත දරුවෙක් වෙනවා දකින එක. දැන් දරුවෝ හදන එක ඉස්සර වගේ ලේසි නැහැ. විශේෂයෙන් දරුවන් හදන්න ඕනෑ පොළොවේ පය ගහල ජීවත් වෙන්න පුළුවන් විදිහට. ඒ නිසා මගේ බලාපොරොත්තුව දරුවා පොතට පතට දක්ෂ දරුවකු කිරීම වගේම පොළොවේ පය ගහල ජීවත්වන මිනිසකු කිරීමයි.