රජරට ගොවි වකුගඩු රෝගය සුව කිරීමේ අභියෝගය භාරගැනීමට මහනුවර දේශීය වෛද්‍යවරු සූදානම් බව පවසති.
මහනුවර නීතිඥවරයකු සහ විනිශ්චයකාරවරයකු ඇතුළු රෝගීන් කීපදෙනකු දේශීය ප්‍රතිකාර මගින් වකුගඩු රෝගයෙන් මුදාගෙන තිබෙන බව මහනුවර කඩවත්සතර සහ ගඟවට කෝරළේ ආයුර්වේද සංරක්‍ෂණ සභාව පවසයි.
ආයුර්වේද සංරක්‍ෂණ සභාවේ සාමාජික දේශීය විශේෂඥ වෛද්‍ය සුමිත් කොඩිකාරආරච්චි මහතා වකුගඩු රෝගීන් සුවපත් කිරීමේ ප්‍රමුඛ වෛද්‍යවරයා ලෙස කටයුතු කරයි.
පැරණි දේශීය වෛද්‍ය පුස්‌කොල පොත්හි සඳහන් අයුරු සරල දේශීය ඖෂධ මගින් වකුගඩු රෝගීන් සුවපත් කිරීම මේ වන විට බටහිර විශේෂඥ වෛද්‍යවරුන් කීපදෙනකුගේ ද ඇගැයීමට හා පිළිගැනීමට ලක්‌වී තිබෙන බව වෛද්‍ය සුමිත් කොඩිකාරආරච්චි මහතා මධ්‍යම පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අධිනීතිඥ සුනිල් කිත්සිරි අමරතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවකදී අනාවරණය කළේය.
වයස අවුරුදු 53 ඉක්‌මවූ වකුගඩු රෝගීන් රුධිර පවිත්‍ර කිරීම සඳහා පවා සුදුසු තත්ත්වයක නොසිටින බව බටහිර ප්‍රතිකාර ක්‍රමය යටතේ පිළිගෙන තිබෙන නමුත් දේශීය ප්‍රතිකාර මගින් එවැනි වයසේ රෝගීන් සුවපත් කිරීම සාර්ථක වී තිබෙන බව ඒ මහතා අනාවරණය කළේය.
එබැවින් දැනට මහත් ආන්දෝලනයකට ලක්‌වී තිබෙන උතුරුමැද පළාතේ ගොවි වකුගඩු රෝගීන් සුවපත් කිරීමේ වගකීම භාරගැනීමට තමන් සූදානම් බව සුමිත් කොඩිකාරආරච්චි මහතා පැවසීය.
ඉතා සරල ක්‍රම හා ඒ සඳහා අවශ්‍ය ඖෂධ ද දේශීය වශයෙන් සපයා ගැනීමට හැකි බව ද ඒ මහතා කියයි.
වකුගඩු රෝගය වැළඳීමෙන් වැළකී සිටීමට ගත යුතු ක්‍රියාමාර්ග ද වෛද්‍ය සුමිත් කොඩිකාරආරච්චි මහතා පෙන්වා දෙයි.
සාකච්ඡාවට සහභාගි වුණු පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය අධිනීතිඥ සුනිල් කිත්සිරි අමරතුංග මහතා මධ්‍යම පළාතේ මාතලේ දිස්‌ත්‍රික්‌කයේ විල්ගමුව, කෝන්ගහ සහ කණ්‌ඩලම වැනි ප්‍රදේශවල ද වකුගඩු රෝගීන් දෙදහසකට වැඩි සංඛ්‍යාවක් වාර්තාගතව ඇති බව කීවේය.
මහනුවර කඩවත්සතර සහ ගඟවට කෝරළේ ආයුර්වේද සංරක්‍ෂණ සභාවේ ලේකම් වෛද්‍ය ඩී. එන්. ද සිල්වා මහතා අදහස් දක්‌වමින්, වකුගඩු රෝගීන් සුවපත් කිරීමේ වෛද්‍ය ක්‍රමය තම සංවිධානයේ සුවිශේෂී පර්යේෂණ හා සේවාවන් අතර ප්‍රමුඛස්‌ථානය ගන්නා බව කීවේය.
සංරක්‍ෂණ සභාවේ සභාපති අස්‌ගිරි මහා විහාරවාසී පූජ්‍ය වෛද්‍ය බෝගමුවේ ඉන්දරතන ස්‌වාමීන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.