මම මගේ පාඩුවේ ඉන්න කෙනෙක් - මගේ හොඳම යාළුවා නෑනා වෙලා ගෙදර ඉන්නවා

රූපවාහිනි වෙළඳ දැන්වීම ඔස්සේ බොහෝ දෙනෙකු දැන හැඳින ගත් අනුරාධා එදිරිසිංහ මේ වනවිට පුංචි තිරයේ කැපී පෙනෙන චරිතයක්.

මේ දිනවල ‘හිරු මෙගා ස්ටාර්’ රියැලිටි වේදිකාව ඔස්සේ නර්තනයෙන් දස්කම් පාන ඇයගේ කලා කටයුතු බොහෝමයක් තිබෙනවා. ඒ පිළිබඳව කතාබහ කිරීමට ඇය මෙලෙස එක්වී තිබෙනවා.

මේ දවස්වල හරි කාර්යය බහුලයි නේද?

ඔව්, මේ දවස්වල ටිකක් කාර්යය බහුල වෙලා තියෙනවා. මොකද මේ දවස් ටිකේ ‘හිරු මෙගා ස්ටාර්’ රියැලිටි තරගයට සහභාගී වෙලා තියෙනවා. ඊට පස්සේ විකාශය වෙන ටෙලි නාට්‍යය දෙකක වැඩ කරගෙන යනවා. තව අලුත් ටෙලි නාට්‍යයක රූගත කිරීම් වලට දායක වෙලා තියෙනවා. ඒ වැඩ ටික තමයි තියෙන්නේ. ඒදේවල් එක්ක ටිකක් කාර්යය බහුල වෙලා තියෙනවා.

‘හිරු මෙගා ස්ටාර්’ කියන්නේ පලමු රියැලිටි අත්දැකීමද?

ඔව්, ‘හිරු මෙගා ස්ටාර්’ කියන්නේ මගේ පලවෙනි රියැලිටි අත්දැකීමයි. මම පාසල් කාලේවත් ඩාන්සින් කියන දේට දායක වෙලා නැහැ. ඒකත් එක්ක මගේ රියැලිටි අත්දැකීම වගේම ඩාන්සින් අත්දැකීමත් පළවෙනි පාර තමයි ලැබෙන්නේ. මගේ කොරියෝග්‍රැෆර් තමයි රසික ප්‍රභාත්. මගේ ඩාන්සින් පාර්ට්නර් ඉන්නේ පැතුම් රුක්ෂාන් අයියා. එයාට පිං සිද්ධ වෙන්න ජීවිතේ පළවෙනි වතාවට ඩාන්සින් කරනවා.

වෙනත් රියැලිටි තරග වලට වඩා මේ තරගයේ වෙනස් තියෙනවා නේද?

ඔව්, මේ තරගයේ වෙනසක් තියෙනවා. මේකේ තරග කරන්නේ යුගල වශයෙන්. ඒ නිසා තමන්ගේ පාර්ට්නර් එක්ක තමයි තරගයේ හැමදේම තීරණය කරන්නේ. ඉතිං මගේ පාර්ට්නර් වෙන්නේ පැතුම් අයියා. එයා ක්ෂේත්‍රයේ මට වැඩිය පරණ කෙනෙක්. මට වැඩිය වයසින් වැඩිමහල් කෙනෙක්. ඉතිං එයාට රියැලිටි තරගය ගැන අත්දැකීම් තියෙනවා. එයා මේ තරගයේ සීසන් වන් එකට දායක වුණා. ඒ අත්දැකීම් එක්ක හැමදේම කතාබහ කරගෙන යනවා.

පලමු නර්තන තරඟය වීම ඔස්සේ ලැබෙන අත්දැකීම්?

ලැබුණු අත්දැකීම් නම් ගොඩක් ඉහළයි. නර්තනය කියන දේ කරන්න පොඩි කාලේ ඉඳන් ආසාවක් කැමැත්තක් තිබුණා. ඒ වුණාට මගේ තාත්තා කැමති වුණේ නැහැ මම නර්තනය ඉගෙන ගන්නවාට. ඒකත් එක්ක මගේ ආසාව ගිලිහිලා යනවා. නමුත් ‘හිරු මෙගා ස්ටාර්’ දෙවැන්න හරහා මගේ ආසාව ඉෂ්ඨ කරගන්න අවස්ථාව ලැබෙනවා. ඉස්සෙල්ලා කිව්වා වගේ මගේ කොරියෝග්‍රැෆර් වෙන්නේ රසික අයියා. ඉතිං එයා තමයි එතකොට මගේ පළවෙනි නර්තන ගුරුවරයා වෙන්නෙත්. ඉතිං එයා හරහා ලැබෙන අත්දැකීම ඉතාමත් ඉහළයි. ඒ වගේ රියැලිටි වේදිකාවක් තුළ මේ දේවල් කරන්න ලැබෙන්නෙත් පළවෙනි පාර නිසා ඒකත් ලොකු අත්දැකීමක් කියලා කියන්න පුළුවන්.

අනිත් තරඟකරුවන් සමග ඇති තරඟකාරිත්වය කොහොමද?

තරගකයදී ජය පරාජය කියන දේ අත්විඳින්න වෙන දෙයක්. ඩාන්සින් කියන දේ කරන්නේ නැතුව, රියැලිටි තරගයක් ගැන මෙලෝ දෙයක් දන්නෙ නැතිව මේ ඇවිත් තියෙන දුර ගැන ඉතාමත් සතුටු වෙනවා. පැතුම් අයියගේ ගොඩක් ලැබෙනවා වගේම අනික් අයගෙන් ලැබෙන සහයෝගයත් ඉතාමත් ඉහළයි. ක්ෂේත්‍රයේ අලුත් කෙනෙක් විදිහට ප්‍රවීණ අයත් එක්ක සම්බන්ධ වෙලා මේ වගේ දෙයක් කරන්න ලැබීමත් භාග්‍යයක් විදිහට තමයි මම නම් දකින්නේ.

රියැලිටි තරගය නිසා රංගනයේ අවස්ථා ගිලිහෙන්නේ නැද්ද?

නැහැ. රංගනයේ අවස්ථා කොහොමත් නැති වෙන්නේ නැහැ. මොකද ඒ දේවල් වලට මම වෙලාවල් හදාගන්නවා. ෂූටින් කරගෙන යන්නේ නාට්‍ය දෙකක විතරයි. ඒවත් කරගෙන පුහුණු වීම් වැඩකටයුතුත් කරගෙන යනවා. සමහර දවස්වලට තිබෙන කාර්යය බහුලත්වයත් එක්ක කලබලකාරී විදිහට දවස ගෙවෙන වෙලාවල් තියෙනවා. නමුත් කොහොම හරි කර ගන්නවා. හැමදේම බදා ගෙන කරන්න අමාරුයි. ඒ නිසා මූලික වැඩ කටයුතු සඳහා මූලික තැන දීලා වැඩ කරගෙන යනවා. හැමෝගෙම සහයෝගය තියෙන නිසා වැඩකටයුතු කරගෙන යන්න පුළුවන්.

ඔබ ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කල්ද?

මම ක්ෂේත්‍රයට ඇවිල්ලා දැන් නම් අවුරුදු තුනක් විතර වෙනවා.

රංගනයෙන් නිර්මාණ කීයක් සඳහා දායක වුණාද?

මම දැනට සම්බන්ධ වෙලා තියෙන්නේ ටෙලි නාට්‍යය පහලොවකට වගේ. ඒවගේම රංගනයෙන් දායක වුණු ටෙලි නාට්‍යය හතරක් විතර විකාශය වෙන්න තියෙනවා. මොකද මම වැඩිපුර කාලයක්, ඒ කියන්නේ අවුරුදු දෙකක් රූපවාහිනි වෙළෙඳ දැන්වීම් කලාවට සම්බන්ධ වෙලා තමයි වැඩකටයුතු කලේ. ඊට පස්සේ මියුසික් වීඩියෝ වලට සම්බන්ධ වුණා.

රංගනය දැන් ඔබේ වෘත්තීයද?

රංගනය දැන් වෘත්තීය වෙලා කියන්නත් බැහැ. හැබැයි මම රංගනයට අමතරව මම වෙන දෙයක් කරන්නෙත් නැහැ. එහෙම බලද්දී දැන් වෘත්තීය වෙලා.

මේ දවස්වල වැඩිපුරම ප්‍රතිචාර ලැබෙන්නේ?

මේ දවස් වල මම රංගනයෙන් දායක වුණු ‘අහස් මාළිගා’ ටෙලි නාට්‍යයට තමයි වැඩිපුර ප්‍රතිචාර ලැබෙන්නේ.

සම්මාන හීනයක් නැද්ද?

රංගන ක්ෂේත්‍රයට මම ගොඩක් අලුත් කෙනෙක්. මේ ක්ෂේත්‍ර පිළිබඳව ලොකු අත්දැකීමක් මට තවම නැහැ. මම තාමත් අනෝජා වීරසිංහ මිස්ගේ පාඨමාලාවට සම්බන්ධ වෙලා ඉන්නේ. අලුත් කෙනෙක් නිසා තාම ක්ෂේත්‍රය ගැන හොයන කෙනෙක්. ඉතිං සම්මාන හීනයක් ගැන තාම හිතිලා නැහැ.

රංගනයද පාසල් කාලේ ඉඳන්ම තිබ්බ හීනේ?

නැහැ. මගේ තාත්තට ඕන වුණේ මාව වෛද්‍යවරියක් කරන්නයි. ඒ එයාගේ අක්කලාගේ ළමයි වෛද්‍ය වෘත්තීයේ යෙදිලා හිටිය නිසා එයාගේ කැමැත්ත වුණේ මම වෛද්‍යවරියක් වෙලා ඉන්නවා දකින්නයි. ඒත් මගේ තාත්තා පොලිස් නිළධාරියෙක්. මම උසස් පෙළ කරද්දී ඉගෙන ගත්තේ නීතිඥවරියක් වෙන්නයි. ඉතිං රංගනය කියන දේට අද ආවේ නැත්නම් නීති විෂය පැත්තෙන් යයි කියලා කියන්න පුළුවන්.

පාසල් කාලේ හිටපු යාළුවෝ අද නැද්ද?

පාසල් කාලේ යාළුවෝ අදටත් ඉන්නවා. මගේ හොඳම එක යාළුවෙක් විදෙස් ගත වෙලා ඉන්නේ. මගේ අනිත් හොඳම යාළුවා බැන්දේ මගේ අයියා. මගේ හොඳම යාළුවා නෑනා වෙලා ගෙදර ඉන්නවා.

පාසල් කාලේ තිබ්බ නිදහස ඒ දේවල් අද වෙද්දී නැතිවෙලාද? නැත්තනම් ඒ කාලේ වගේම සැහැල්ලුවෙන් ජීවත් වෙනවාද?

පාසල් කාලේ කියලා මාව හිර කරලා හදපු ලමයෙක් නෙමෙයි මම. පාසල් කාලේ සහ දැන් කියලා ජීවිතේ නිදහසේ ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ. මම නම් ඒ කාලේ හිටිය විදිහට නිදහසේ ඉන්නවා. මොකද අදටත් මගේ අයියා සහ අම්මා මගේ හැමදේටම ඉන්නවා. මම වැඩ වලට යන්නෙත් අයියාත් එක්ක. ඉස්සර නම් ගියේ අම්මා එක්ක. දැනට මගේ නිදහස නැති වෙලා කියන දෙයක් නම් මට දැනෙන්නේ නැහැ.

පුංචි තිරයේ සහ සැබෑ ජීවිතේ ඔබ එක හා සමානද?

රංගනයේදී සහ සැබෑ ජීවිතයේදී සමහර චරිතත් එක්ක ගැලපෙන තැන් ඇති කියලා හිතනවා. මම නම් ගොඩක් සැහැල්ලුවෙන් ජීවත් වෙන කෙන. මම මගේ පාඩුවේ ඉන්න කෙනෙක්. ඉතිං මම කැමති නැහැ කාවවත් රිද්දන්න. ඒ නිසා මගේ ජීවිතේ සමහර දේවල් මගේ චරිත වලින් මතු වෙන අවස්ථා ඇති කියලා හිතනවා.

මඟතොටේදී රසියන්ගෙන් ලැබෙන ප්‍රතිචාර කොහොමද?

ප්‍රතිචාර ගොඩක් හොඳයි. මේ දවස් වල විකාශය වන ‘අහස් මාලිගා’ එකේ මගේ චරිතේ ‘පොඩ්ඩි’. ගොඩක් අය චරිතේ නම කියලම කතාකරනවා. &ආ… පොඩ්ඩි නේද? කියලා. 

රූපවාහිනි වෙළඳ දැන්වීම් ඔස්සේ නේද ක්ෂේත්‍රයට අවස්ථාව ලැබුණේ?

ඔව්, මම රූපවාහිනි වෙළෙඳ දැන්වීම් වලින් තමයි රංගනයට එන්න අවස්ථාව ලැබුණේ.

රංගනය පුංචි තිරයට විතරද?

නැහැ. මමත් කැමතියි සිනමාවට එන්න. ආරාධනා ගොඩක් ලැබිලා නැහැ. නමුත් ලැබුණු අවස්ථා වලදී ඒ දේවල් කර ගන්න ලැබුනෙ නැහැ. මොකද ටෙලි නාට්‍යය වල වැඩකටයුතු තිබුණ නිසා. ලොකු ආරාධනවක් සිනමාවට ලැබිලා නැහැ.

ලැබෙන හැම නිර්මාණයක්ම භාර ගන්නවාද?

මම ක්ෂේත්‍රයට තාම අලුත් කෙනෙක්. ඒක නිසා මට ලැබෙන චරිතය ගැන කියන්න මට ලොකු අත්දැකීමක් නැහැ. මට ලැබෙන හැම චරිතයක්ම අලුත් චරිතයක්. ඉතිං මම තාම අත්දැකීම් ලබමින් යනවා. මට චරිත එහෙම තෝරා බේරා ගන්න ලොකු අත්දැකීමක් තියෙන කෙනෙක් නෙමෙයි.

ඉදිරි බලාපොරොත්තු ගැන කිව්වොත්?

මම ජීවිතේ හිතපු නැති චරිතයක් මම මේදවස් ටිකේ කරගෙන යනවා. ඒක තාම විකාශය වෙන්නේ නැහැ. ඒක විකාශය වෙනකන් තමයි මම බලාගෙන ඉන්නේ. ඒක නිසා ඒ ගැන මුකුත්ම කියන්නේ නැතුව එනකන් ඉන්න හිතුවා. මගේ ජීවිතේ කිසිම දවසක බලාපොරොත්තුවක් තිබිලා නැහැ. මගේ අම්මයි, අයියයි මගේ පවුලේ අයයි සතුටින් හිටියොත් ඇති. ඒ වගේම මාත් එක්ක වැඩ කරපු මට හැම අතින්ම උදව් කරපු ඒ හැමෝටම ස්තූති වන්ත වෙනවා වගේම ආදරෙන් මතක් කරනවා.

((under the courtesy of hirutv.lk blog web) 
Share on Google Plus

About Sri Magazine

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.