මට මේ ක්ෂේත්‍රයේ හුදකලා වෙන්න බෑ ජනප්‍රිය රූපලාවණ්‍ය ශිල්පි චන්දිමාල් ජයසිංහ


 

සිරස ඩාන්සින් ස්ටාර් තරගාවලියේ තරගකරුවන් තරු ලෙස හැඩ කරමින් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයට පිවිසි චන්දිමාල් ජයසිංහ දිනෙන් දින තම හැකියා හා දක්‍ෂතා ඔප්නංවා ගනිමින් මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නමක් දිනු රූපලාවණ්‍ය ශිල්පියෙකි. ජනප්‍රිය රංගන ශිල්පිනියන්, මෙරට ප්‍රභූ පැලැන්තියේ තරුණියන් මංගල දිනයේ සුන්දර මනාලියන් ලෙස හැඩ ගන්වමින් රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ දිගු ගමනක් පැමිණි චන්දිමාල් පසුගියදා ඔහුගේ වෘත්තීය ජීවිතයේ තවත් පියවරක් තැබුවා. එනිසාම ඒ අලුත් පියවරෙන්ම අපත් කතාව අරඹන්න සිතුවා.


“පසුගිය දා කොළඹ පිටකෝට්ටේ Chandimal Bridal And Beauty Salon නමින් මගේ නවතම රූපලාවණ්‍යාගාරය විවෘත කළා. ඊළඟ මාසේ එහි තවත් ශාඛාවක් මීගමුවේ ඇවෙන්ඩ්‍රා ගාර්ඩන් හෝටල් පරිශ්‍රයේදී විවෘත කරන්නත් සූදානමින් ඉන්නවා. “

සාමාන්‍යයෙන් චන්දිමාල්ගේ ඕනෑම උත්සවයක් පවත්වන්නේ මෙරට ජනප්‍රිය වගේම ප්‍රවීණ කලාකරුවන්, ප්‍රභූවරුන් රැසක් එකතු කරගෙන වූවත් මෙම විවෘත කිරීමට සහභාගී සිටියේ කලාකරුවන් කිහිප දෙනකු සහ ආරාධිතයන් සුළු පිරිසකුයි. ඉතින් ඒ වෙනස ගැනත් ඔහුගෙන් නොවිමසා මගහරින්නට බැහැ.

“කොරෝනා එක්ක එක්තැන් වූ අපේ කලාකරුවන් වගේම ප්‍රසිද්ධ පුද්ගලයන් නැවත ටිකෙන් ටික කාර්යබහුල වෙන්න පටන්ගෙන තිබුණු නිසා මං හිතුවා ඒ හැමෝම මේ විවෘත කිරීමට ගෙන්වන්නේ නැතිව ඇවෙන්ඩ්‍රා ගාර්ඩන් හෝටල් පරිශ්‍රයේ නවතම ශාඛාව විවෘත කිරීමට රෝසි සේනානායක මහත්මිය හා ලෝක විවාහක රූ රැජන වූ කැරොලයින් ජූරි ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස ගෙන්වන්නයි බලාපොරොත්තුව. මගේ උපන්දින සාදයත් එදාටම පවත්වන්න හිතාගෙන ඉන්න නිසා 600ක් පමණ සහභාගී වෙයි. ඒ නිසයි කොළඹ ඕපනින් එක චාම්ව කළේ.

මේ සැලෝන් එක විවෘත කරන්න ප්‍රධාන ආරාධිතයා ලෙස මම ආරාධනා කළේ රෝහිත රාජපක්ෂ මහතාට. ඒ වගේම අප්සාරි සිංහබාහු තිලකරත්න, මට මේ ක්ෂේත්‍රයට පිවිසීමට රුකුලක් වුණු මගේ දෑතින් මනාලියක් ලෙස හැඩගැන්වූ පළමු රංගන ශිල්පිනිය, හිමාලි සයුරංගි, 2019 දී මා අතින් හැඩවුණු අවසන් මනාලිය රංගන හා ගායන ශිල්පිනි මාධවී වත්සලා හා සැමියා මිලාන් සහ පියුමි හංසමාලි වැනි තරු කිහිපයක් මේ විවෘත කිරීමට සහභාගී වුණා. “

උපන්දින සාදය කියූ සැණින් නිතැතින්ම චන්දිමාල්ගේ රාජකීය උපන්දින සාදය මතකයට නැගෙන්නේ ඔහුගේ උපන්දින සාදය සැම විටම ආන්දෝලනාත්මක කතා ගොන්නකට මුල පිරූ නිසයි. මෙවරද පවත්වන්නට සැලසුම් කර ඇති සාදය එවැනිම විශේෂත්වයක් තිබෙණු ඇතැයි මා සිතු දෙය ඔහුට කලින්ම වැටහුණු නිසාදෝ ඔහු සිනහමුසුව පිළිතුරු දුන්නා.

“මම මේ ක්ෂේත්‍රයට ඇවිත් දැන් අවුරුදු20ක්. ගොඩක් දෙනෙක් හිතන් ඉන්නේ මම කෝටි ගාණක් වියදම් කරලා ජනප්‍රිය වෙන්න හදනවා කියලයි. මම සල්ලිවල අගය හොඳට දන්නවා. මට අඳින ඇඳුමේ ඉදන් අනුග්‍රාහකයෝ ඉන්නවා. ඉතින් මට වියදම් වෙන්නේ සාමාන්‍ය මුදලක්. අවුරුද්ද පුරා කාර්යබහුල නිසා මට හිතවත් අයගේ උත්සව වලට යන්න ලැබෙන්නේ නෑ. නමුත් මට මේ ක්ෂේත්‍රයේ හුදකලාව, මුල්ලකට වෙලා ඉන්න බෑ. කතාවකුත් තියෙනවනේ වවුලගෙ මඟුල් ගෙදර ගියා නම් එල්ලිලා ඉන්න ඕන කියලා. සමා­ෙජට යන්න ඕනි. මම කැමතියි මට උදව් නොකරපු අත දීපු අය කියලා වෙන් නොකරන්න. අපි කවුරුත් හොයන්නේ සතුට. ඒ නිසා මගේ උපන් දිනේට ඒ හැමෝම එකතු කරගෙන ඒ දවස විනෝදය සහ සතුට පිරුණු දවසක් කරන්නයි මට ඕනේ. සමහරු එක එක කතා කියනවා, බණිනවා, විවේචනය කරනවා. නමුත් අනෙක් අයගේ සතුටට මම ආසයි. අපි මේ හැමදේම කරන්නේ අපේ හිතේ සතුට හා සැනසීම වෙනුවෙන්. ඉතින් මේ ගමනත් රෝයල් තීම් එකකින් ඒ සතුට සමරන්නයි බලාපොරොත්තුව.“

මෑත කාලීනව ඔහු අතින් හැඩවුණේම මෙරට ප්‍රසිද්ධ චරිත පමණි. දැන් ඔහු විවෘත කළ රුපලාවණ්‍යාගාරයත් ප්‍රසිද්ධ පැලැන්තියේ අයට පමණදැයි ඕනැම කෙනෙකුට සිතෙන්න පුළුවන...

“හුඟ දෙනෙක් හිතාගෙන ඉන්නේ මම හැඩගන්වන්නේ රටේ ප්‍රසිද්ධ අය විතරයි කියලා. ඒ මතය වෙනස් කරන්න තමයි මම මීගමුව ශාඛාව ඕපන් කරන්නේ. මනාලියන් හැඩගැන්වෙන්නේ මගේ අතින්මයි. අනෙක් රූපලාවණ්‍ය කටයුතු නම් මගේ අධීක්‍ෂණය යටතේ පළපුරුදු රූපලාවණ්‍ය ශිල්පීන් අතින් සිදු වෙනවා. කෙනෙක් ලස්සන කරලා ලබන සතුටට මම ගොඩාක් කැමතියි. මගේ ළඟට එන කෙනකුගේ සල්ලි වලට මම කවදාවත් මුල්තැන දෙන්නෑ. මේ වෘත්තිය ප්‍රසිද්ධිය ලබා ගන්න භාවිත කරන්නෙත් නැහැ. ඕන යුවතියක් ඇවිත් කිව්වොත් මං ආසයි චන්දිමාල් අතින් හැඩ වෙන්න කියලා මං ඇයට උපරිම සාධාරණය ඉටු කරනවා. ප්‍රසිද්ධිය බලලා වැඩ කළා නම් මීටත් වඩා මම ජනප්‍රියයි.”

චන්දිමාල් පවසන අන්දමට ඔහු කවදත් කාර්යබහුලය..ඉතින් මේ පිළිසඳර නිම කරන්න පෙර ඔහුගෙන් කාර්යබහුල දිවිපෙවෙතේ හෙට දවස ගැනත් දැන ගන්න හිතුණා.

“මගේ ජීවිතේ ලොකු දේවල් නෑ. ලැබෙන දෙයින් සතුටු වෙන්න මම කැමති. මම අලුතින් ගෙයක් හදනවා. කොරෝනා වසංගතය නිසා ජූලිවල පැවැත්වීමට තිබුණු මිස් ශ්‍රී ලංකා තරගාවලිය ලබන ඔක්තෝබර් මාසේ පටන් ගන්න හිතාගෙන ඉන්නවා. ලෝක විවාහක රූ රැජන තරගාවලියත් ලබන වසරේ පෙබරවාරි හෝ අප්‍රේල් මාසයේ දී නෙළුම් පොකුණෙ පවත්වන්න සැලසුම් කරගෙන යනවා. ඒ සඳහා රටවල් 60 ක හෝ 80 ක විතර තරගකාරිනියන් සහභාගි වේවි. මේ සියල්ල අතරේ උමංදාවේ කථින පිංකම කරන්නත් හිතන් ඉන්නවා. “

උපුටා ගැනීම දිනමිණ පුවත් පත ඇසුරෙනි
Share on Google Plus

About Pradeep Kumara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.