ලංකාවට ආ චීනුන්ගේ අමුතුම සෙල්ලම්


  • හෝර්ටන්තැන්නේ සංචාරයට ඇවිත් සුප් හදන්න කුරුමිණියන් එකතු කරලා
  • උතුරු මැද ගොවිබිම්වලත් චීන්නු වැඩ
  • කෝටි 96ක් බැංකු ගිණුමක දාපු චීන්නු දෙන්නෙකුත් අහු‍වෙලා
අප කොණ්ඩේ බැඳපු චීන්නුන් ගැන කතා කළ කාලයක් තිබිණි. දැන් ඒ කාලය හමාරය. මේ වන විට ලොවෙන් අඩකම ආර්ථිකයේ කොණ්ඩය බැඳෙන්නේ චීන්නුන්ට ඕනෑ විදිහටය. ඔවුන්ගේ හැඩයටය. අපටත් දැන් සිද්ධ වී ඇත්තේ ඒ සන්තෑසියට මුහුණ දෙන්නටය.
ශ්‍රී ලංකාව සහ චීනය අතර ආර්ථික දේශපාලන මෙන් ම සංස්කෘතික වශයෙන් ගෞරවාන්විත ඓතිහාසික සම්බන්ධතාවක් තිබුණ බව සැබෑය. එහෙත් ආර්ථික වශයෙන් බලවත් පුද්ගලයන් අතින් බොහෝවිට අනෙකා කෙරෙහි ඇති ගෞරවය ගිලිහෙයි. එය ලෝක ස්වභාවය ය.
අතීත චීන සබඳතා ගොඩනැඟෙන වකවානුවේ ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් චීනයට වඩා ඉදිරියෙන් සිටියේය. එබැවින් දෙරට අතර එදා තිබුණු සබඳතාවලට වඩා අද ගොඩනැඟෙන සබඳතාවල ස්වරූපයත් වෙනස්ය.
අද වන විට රටේ දැවැන්තම ව්‍යාපෘති කෙරෙන්නේ චීනයේ මැදිහත්වීම මතය. වරාය ඉදිකිරීම, මහා මාර්ග ඉදිකිරීම, ගොඩනැගිලි ඉදිකිරීම මෙන් ම ආසියාවේ විශාලතම ව්‍යාපෘතියක් වන කොළඹ වරාය නගරය ඉදිකිරීමත් කරන්නේ චීන සමාගම්ය. ඒ චීන රජයේ ඍජු මැදිහත්වීම මතය.
ඒ ව්‍යාපෘතිවල සේවයට යොදා ඇත්තේ චීන ශ්‍රමිකයෝය. දැනට චීන ජාතිකයන් ඍජුව සම්බන්ධ වී ඇති මෙරට ක්‍රියාත්මක මහා පරිමාණ ව්‍යාපෘතිවලට නීත්‍යනුකූලව චීන ජාතික ශ්‍රමිකයෝ ගෙන්වාගනු ලැබ සිටිති. හම්බන්තොට සහ ඒ ආශ්‍රිතව චීන ශ්‍රමිකයෝ 3000 – 5000 අතර ප්‍රමාණයක් සේවය කරති. කොළඹ වැඩබිම්වල ද එපමණම පිරිසකි.
මේ වන විට මෙරට සිදු කෙරෙන සංවර්ධන ව්‍යාපෘති සඳහා රැකියා වීසා ලබාදී ඇති පිරිස දස දහසක් පමණ වන බව ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රත්‍යන්ත සහ පාලක දසිත නිරෝෂ් මහතා පවසයි.
රැකියා වීසා නැතිව මෙරට වැඩබිම්හි සේවය කරමින් සිටින චීන ජාතිකයෝ සිය ගණනක පිරිසක් ඉකුත් මාස කිහිපය තුළදී ආගමන විගමන නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වූහ.
ආගමන විගමන දෙපාර්තමේන්තුවේ පිහිටුවා ඇති විශේෂ විමර්ශන ඒකකයේ නිලධාරීහු සතියකට දෙතුන් වතාවක් ඔවුන් වටලති. අත්අඩංගුවට ගන්නා අය රටින් පිටුවහල් කරති.
මේ අතර චීන සේවකයන් වෙනුවෙන් වෙනම අවන්හල් නිර්මාණය වෙමින් තිබේ. වෙනම නවාතැන් නිර්මාණය වෙමින් ඇත. වෙනම වෙළෙඳසල් නිර්මාණය වෙමින් ඇත. ගෝල්ෆේස් පැත්තේ සිට බම්බලපිටිය දෙසට ගාලු පාරේ යන එන ඕනෑම කෙනෙකුට චීන ආකෘතිය අනුව හැඩගැසෙන කොළඹ ගැන යම් අදහසක් ලබාගත හැකිය.
දැනට වසර හයකට හතකට ඉහතදී කොළඹ නගරයේත්, ලංකාවේ ප්‍රධාන නගර කිහිපයකමත් චීන කාන්තාවන් ඇතුළු චීන ජාතිකයෝ අත්ඔරලෝසු, ජංගම දුරකතන ඇතුළු නොයෙක් විද්‍යුත් උපාංග ඉතා අඩු මුදලට අලෙවි කරමින් සිටියහ. දැන් ඔවුන් දක්නට නැත. ඇතමුන් චීන අවන්හල්වලත් එසේ පැමිණි සමහර කාන්තාවන් ගණිකා මඩම්වලත් සේවය කරන බව පැවසේ. මාස තුනක සංචාරක වීසා රැගෙන පැමිණි සමහරු වසර දෙකක් තුනක් පමණක් නොව ඊට වඩා වැඩි කාලයක් වීසා අහවර වීත් මෙරට රැඳී සිටිති.
කොළඹින් පිට චීන ශ්‍රමිකයන් වැඩිපුරම ජීවත්වන ප්‍රදේශ ආශ්‍රිතව මේ වන විට සැලකිය යුතු සංස්කෘතික ප්‍රශ්න නිර්මාණය වෙමින් තිබේ. හම්බන්තොට අවට ගම් කීපයකම මිනිස්සු මේ චීන ගැටලුවෙන් පීඩා විඳිති. මෙතෙක් මුනිවත රැකි ඒ ගම්මානවල ගම්වැසියන් වෙනුවෙන් හම්බන්තොට එක් ගැමියෙක් තමන් විඳින පීඩාව අපට විස්තර කළේ මෙසේය.
“ චීන කට්ටිය වැසිකිළි යන්න භාවිත කරන්නෙ ඉතාම අපවිත්‍ර ක්‍රම. ඔවුන් කිසිම ලජ්ජාවක් නැතිව, වටපිටාව ගැන හිතන්නෙ නැතිව ලඳු කැලෑවල හිස්බිම්වල මලපහ කරනවා. වැසිකිළි යෑමෙන් පසු පාවිච්චි කරන සනීපාරක්ෂක කඩදාසි තැන තැන විසි කරනවා. පැත්ත පළාතෙ යන්න අප්‍රසන්නයි.“
“ අපේ ගම්මානවල බල්ලො හැදුණේ බොහොම නිදහසේ. ඒත් මේ චීන කට්ටිය හොරෙන් හොරෙන් ප්‍රදේශයේ නිදහසේ ජීවත් වෙච්චි බල්ලන් මරලා කන්න ගත්තා. එහෙම කලා සතාගේ කටු කොටස් තැන තැන දාලා යනවා. මේක හරිම අවුලක්. “ තවත් අයෙක් කියයි.
“පහුගිය මාසයේ මේ ප්‍රදේශයේ ම නිවසක සුරතලයට හදනු ලබන ‘රිච්බැග් ‘ වර්ගයේ බල්ලෙක් චීන ජාතිකයන් දෙදෙනකු අල්ලාගෙන ගිහින් මරන්න උත්සාහ කරද්දි ගමේ තරුණ පිරිසකට අහුවුණා. ඔවුන් චීන ජාතිකයන් දෙදෙනාට පහර දී බල්ලා බේරගත්තා.“
මේ අතර තවත් කතාවක් ඇසේ. එනම් පොලොන්නරුව, අනුරාධපුර, මොනරාගල ඇතුළු දිස්ත්‍රික්කවල සංවර්ධන ව්‍යාපෘතිවලට පැමිණි බව කියමින් චීන ජාතිකයන් ලැඟුම් ගෙන සිටින බවය. මොවුන් නොයෙකුත් නීති විරෝධී ක්‍රියාවල නිරත වන බවටද චෝදනා එල්ල වෙමින් තිබේ. මේ අතර උතුරුමැද හා නැගෙනහිර පළාත්වල සමහර බලවතුන් පවත්වාගෙන යන මහාපරිමාණ ගොවිබිම්වල අනවසර චීන ජාතිකයන් සිටින බව වාර්තා වී ඇත. ඔවුන් ඉතා කාර්යක්ෂම සේවයේ යෙදී සිටින බැවින් ඔවුන් පිළිබඳ තොරතුරු අදාළ අංශ වෙතින් සඟවා සිටින බව පැවසේ.
චීන ජාතිකයෝ ඕනෑම සත්වයෙකු ආහාරයට ගැනීමට ඉමහත් ලොල් බවක් දක්වති. ඔවුන් ශ්‍රී ලංකාවේ සංචාරය කරන අවස්ථාවලදී වනාන්තර නැරඹීමට ගොස් එහි සිටින සත්ව විශේෂ ආහාර සඳහා එකතු කරගත් අවස්ථා රැසක් පසුගිය වකවානුවේ වාර්තා විය. පසුගිය සතියේ දිනක හෝර්ටන්තැන්න වන උද්‍යානයේ වෙසෙන කුරුමිණි විශේෂ එකතු කර රැගෙන යෑමට උත්සාහ ගත් චීන ජාතිකයෝ දෙදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ උද්‍යාන භාරකරු පී‍.කේ.පී.එන්. ප්‍රදීප්කුමාර පැවසුවේ එම චීන ජාතිකයන් දෙදෙනා හෝටන්තැන්න ජාතික වන උදාන‍ය නැරඹීම සඳහා සංචාරකයන් ලෙස පැමිණ කුරුමිණියන් එකතු කරන බවට ලද තොරතුරකට අනුව අත්අඩංගුවට ගත් බවය. ඔවුන් දෙදෙනා ළඟ හිඳි කුරුමිණි විශේෂ 13ක් හමුවී තිබිණි. ප්‍රශ්න කිරීම්වලදී පවසා ඇත්තේ ඔවුන් මේ කුරුමිණියන් එකතු කර අත්තේ චීනයේ සකස් කරන ඉතා මිල අධික කුරුමිණි සුප් එකක් හදා ගන්නට බවය.
චීන ජාතිකයන් දෙදෙනකුගේ බැංකු ගිණුම්වල ශ්‍රී ලංකා මුදලින් රුපියල් කෝටි 96ක් ඇති බව සොයාගැනීමට පොලිසියට හැකි විය. එම මුදල තිබුණේ ඔවුන් දෙදෙනාට අයත් ශ්‍රී ලංකා බැංකු ගිණුම්වලය. එම මුදල් උපයාගත් අයුරු පිළිබඳ පැහැදිලි තොරතුරක් ඉදිරිපත් කර නැත. ඔවුන් කියන්නේ මැණික් වෙළෙඳාමෙන් තමන් එම මුදල් උපයාගත් බවය. ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා ඔවුන් වීසා බලපත්‍රය ලබාගෙන ඇත්තේ භාෂා පරිවර්තකයන් ලෙසව. එම චීන ජාතිකයන් දෙදෙනාට කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා පියවර ගෙන ඇත.
ඉකුත් ජනවාරි මස 23 වැනිදා සහ 25 වැනිදා කොළඹදී චීන ජාතිකයෝ විසි හතර දෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ. ඒ ඔවුන් සංචාරක වීසාවලින් මෙරටට පැමිණ කම්කරු රැකියා‍වේ සහ භාණ්ඩ වෙළඳාමේ යෙදෙමින් සිටියදීය. එම පිරිස කොම්පඤ්ඤවීදිය, කොටුව, ‍මරදාන, බම්බලපිටිය ප්‍රදේශවලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කීවේය.
“චීනය තමන් සතු අතිරික්ත ධනය ලෝකයේ අනෙක් රටවල ආයෝජනය කරනවා. 2013 දී චීනය නැවත වරක් සේද මාවත ඔස්සේ රටවල් රැසකම ආයෝජන සිදු කරනවා. ලංකාවත් මේ සේද මාවතේ රටක්. එමෙන්ම අපේ රට වෙළෙඳ මධ්‍යස්ථානයක් නිසාත් චීනය දිගින් දිගටම මෙරට ආයෝජන සිදු කරන්න තීන්දු කරලා තිබෙන්නෙ. “ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ ප්‍රත්‍යන්ත සහ පාලක දසිත නිරෝෂණ පවසයි.
චීන ජාතිකයෝ ශ්‍රී ලංකාවට මේ වන විට ක්‍රම කිහිපයකින් පැමිණෙමින් සිටිති. රැකියා සඳහාත්, සංචාරය සඳහාත් පැමිණෙන චීන පිරිස් දිනෙන් දින වැඩි වෙයි.
“දැනට රැකියා සඳහා චීන ජාතිකයන් දස දහසක් පමණ රටට ඇවිත් තිබෙනවා. ඔවුන්ගේ වීසා අදාළ ව්‍යාපෘතියේ රැකියාව සඳහා පමණයි වලංගු වන්නෙ. ඔවුන්ට වෙනත් ස්ථානයක සේවය කිරීමට කිසිදු නීතිමය අවසරයක් නෑ.
ඔවුන් ඉන් පරිබාහිරව සේවය කරනවා නම් එය ආගමන විගමන පනතේ 15, 16 වගන්ති අනුව වීසා කොන්දේසි උල්ලංඝනය කිරීමක්.
චීන ජාතිකයන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට ‘විසිට් වීසා’ එකක් ඔන් ලයින් මඟින් ලබාගන්න පුළුවන්. එය මාසයක පමණ කාලයකට වලංගුයි. තවත් රැඳී සිටීමට අවශ්‍ය නම් සංචාරක වීසා මාස දෙකක කාලයක් සඳහා දික් කිරීමට ආගමන විගමන දෙපාර්තමේන්තුව කටයුතු කරනවා. “ දසිත නිරෝෂණ පවසයි.
2017 සහ 2018 වර්ෂවලදී ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් චීන ජාතිකයන් සියයකට වැඩි පිරිසක් චීනයට පිටවහල් කර තිබේ. චීන ජාතිකයන් හතලිහකට වැඩි පිරිසක් ඉකුත් සතියේ කටුනායක ගුවන්තොටුපළෙන් පිටුවහල් කර ඇතැයි ආගමන විගමන දෙපාර්තමේන්තුව කියයි. චීනය සමඟ සබඳතා ගොඩ නඟාගැනීම මේ මොහොත වන විට රටක් වශයෙන් අප කළ යුතුමය. එහෙත් එය කරගත යුත්තේ ගෞරවාන්විත විදිහටය. රටේත් අපේත්, ඔවුන්ගේත් යහපත ආරක්ෂා කරගත හැකි ආකාරයටය.
Share on Google Plus

About Pradeep Kumara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.