සල්ලි මවන බෙල් පෙපර්

ලංකාවේ වඩාත් ජනපි‍්‍රය වගා ක‍්‍රමයක් වන්නේ හරිතාගාර (දැල්නිවාස) ක‍්‍රමයේ භෝග වගාවයි. මෙසේ හරිතාගාර තුළ පමණක් වගා කරන “බෙල්පෙපර්” භෝගයට සුපිරි හෝටල්වල ඇති ඉල්ලුමත් එළවළුවකට ලැබෙන ඉහළම මිලක් එයට ලැබීමත් නිසා ගොවීහු මෙයට වඩා නැඹුරු වෙමින් සිටිති.බෙල්පෙපර් විශේෂය කැප්සිකම් ඇනම් නම් විද්‍යාත්මක නමින් හැඳින්වේ. මෙය හරිතාගාර තුළ පමණක් වගා කළ යුතු වන අතර විවෘත භමියේ වගා කිරීමෙන් ගුණාත්මක බවින් අඩුවීම නිසා අලෙවි කිරීමට නොහැකි තත්ත්වයක් මතුවේ.

ඉන්ද්‍රා, කිං ආතර්, ඇරිස්ටෝටල්, ඔලිම්පස් හා යෙලෝ වොන්ඩර් යන ප‍්‍රභේද ලංකාවේ ජනපි‍්‍රයව පවතී.මෙම බෙල්පෙපර්වල බීජ නිෂ්පාදනය දේශීය වශයෙන් සිදුනොවේ. දෙමුහුන් ප‍්‍රභේද නිසා වැඩිදියුණු කිරීමේ ඉඩ ඇහිරී ඇති බැවින් මෙම ගැටලුව මතු වී ඇත.සලාදයක් ලෙස පරිභෝජනය කරන භෝගයක් වශයෙන් මෙය හඳුන්වා දිය හැක. භෝගයේ කරල් විවිධ වර්ණයෙන් ද යුතු වේ. මෙයින් වඩාත් ජනපි‍්‍රය වී ඇත්තේ රතුපාට වර්ණයයි. වර්ග අඩි 1000 ක හරිතාගාරයක් තුළ පැළ 350 – 400 ක් පමණ හොඳින් නඩත්තු කළ හැකිය. විදේශීීය රටවලින් ආනයනය කරන බෙල්පෙපර් බීජ ඇට 1000 ක (පැකට් 1 ග‍්‍රෑ. 10) මිල රුපියල් 500 – 2500/= අතර පවතී. ජනපි‍්‍රය තත්ත්වය මත මෙම බීජ ඇටවල මිල මෙසේ විවිධ අයුරින් පවතී. එක් බෙල්පෙපර් කිලෝ එකක් රුපියල් 250 – 350/= ක අතර මිලකට පහසුවෙන් අලෙවි කළ හැක. කිසිදු වෙනත් භෝගයකට මෙතරම් ඉහළ මිලක් වෙළෙඳපොළින් ලබාගත නොහැකිය.

මේ ගසක් හොඳින් නඩත්තු කළහොත් මාස 08 ක පමණ කාලයක් අස්වැන්න ලබාගත හැකි වේ. එම ආයු කාලය තුළදී ගසකින් කිලෝ 2 1/2ක පමණ අස්වැන්නක් ද පහසුවෙන් ලබාගත හැකිය.බෙල්පෙපර් බීජ ඇට, තවාන් තැටියක් මත කොහුබත් මාධ්‍යයක පැළකර ගත යුතු වේ. මෙසේ තවාන් කළ බීජ ඇට පැළවීමට දින 10 – 14 ක කාලයක් ගතවේ. බීජ පැළයෙන් කොළ 4 ක් මතුවන විට පොහොර යෙදීම ආරම්භ කළ යුතුය. ඇල්බට් මිශ‍්‍රනය වැනි ජලයේ දියකර ගත හැකි පොහොර භාවිතා කළ යුතු වේ. මෙම ඇල්බට් මිශ‍්‍රනය ග‍්‍රෑම් 1 1/2 වතුර ලීටරයක දියකර කොහුබත් තෙමීම සෑහේ. තවාන් පැළයට දින 30 – 35 ගතවන විට ස්ථිර වගා මාධ්‍යයක සිටුවා ගත යුතුය. ස්ථිර වගා මාධ්‍යයක් හැටියට වගාමලුවල කොහුබත් පමණක් යෙදීමෙන් රෝග කාරකවලින් තොරව වගාව පවත්වාගත හැක. පස් මිශ‍්‍රනය තුළින් විවිධ රෝග මූල පද්ධතියට වැළඳී වගාව විනාශ වීමට පුළුවන.කොහුබත් ලබාගැනීමේදී වගාකරුට විවිධ ගැටලු මතුවේ. පිට පළාත්වලින් කොහුබත් ප‍්‍රවාහනය කිරීම සඳහා විශාල මුදලක් ද වගාකරුට දැරීමට සිදුවේ.මෙය වළකා ගැනීම සඳහා කහගොල්ල කෘෂිකර්ම පර්යේෂණ ආයතනය විසින් දහයියා අඟªරු සමඟ යටි පස් 1ය1 අනුපාතයට මිශ‍්‍රනය කර සාදාගන්නා වගා මාධ්‍ය ඉතාමත් සුදුසු බවට සාර්ථකව අත්හදා බලා ඇත.

මේ නිසා වගාකරුට කොහුබත් සපයා ගැනීමට වැයවන විශාල මුදල මුළුමනින්ම ඉතිරි කර ගැනීමේ හැකියාවක් උදාවී ඇත. කළු පොලිතින් (ගේජ් 300) අඟල් 12 උස අඟල් 14 ක් පළල ලෙසින් වගා මලු සකසා ඉහත සඳහන්් වගා මාධ්‍ය මිශ‍්‍රනයෙන් පුරවා ගත යුතුය.වැඩි ජලය බැසීමට පහතින් සිදුරු කිහිපයක් සෑදීමද කළ යුතුය. එසේ සැකසූ වගා බඳුනක මුල් පද්ධතිය හානි නොකර සිටුවා ගත් බෙල්පෙපර් පැළයට දිනකට එක්වර බැගින් දින 14 ක් ජලසම්පාදනය කළ යුතුය. ඒ සමඟම ඇල්බට් මිශ‍්‍රනය වැනි දියර පොහොර යෙදීමද නිසි අයුරින් කිරීමට වගබලා ගත යුතුය. ඇල්බට් මිශ‍්‍රනය ග‍්‍රෑම් 2 ක් ජල ලීටරයක් සඳහා සෑහේ. එසේ සැකසූූ දියර පොහොර මිලිලීටර් 100 ක් එක පැළයට යෙදීම ප‍්‍රමාණවත්ය.ගසේ වැඩීමත් සමඟ පොහොර මිශ‍්‍රන ප‍්‍රමාණය වැඩි කිරීම අනිවාර්ය දෙයකි. ගෙඩි හටගන්නා විට පොහොර මිශ‍්‍රනය මිලිලීටර් 500 – 700 අතර ප‍්‍රමාණයක් දින 2 කට වතාවත් එක් ගසකට ලබාදීම ප‍්‍රමාණවත් වේ.

ස්ථිර වගා මල්ලක සිටවූ බෙල්පෙපර් ගසකට මාස 2 1/2 ක් ගතවන විට ගෙඩි හටගැනීම ආරම්භ වේ. මුල් වටයේ අස්වැන්න සමයේදී ගසේ වර්ධනය අඩුවක් දක්නට ලැබුණත් නඩත්තු කටයුතු සිදුකළ යුතුය. දෙවන වර මල් විශාල ප‍්‍රමාණයක් හට ගනී. දුර්වල මල් ඉවත් කර හොඳම මල් 8 ක් පමණ ගසේ ඉතිරි කිරීම තුළින් ඉතාමත් උසස් ගුණාත්මක ගෙඩි ලබාගත හැක. මල් ඉවත් නොකිරීමෙන් කුඩා ගෙඩි විශාල ප‍්‍රමාණයක් ඇතිවීම නිසා අලෙවියේදී ගැටලු මතුවේ.මල් හටගැනීමේ අවස්ථාවේ සිට වගාවට දිනකට දෙතුන් වරක් ජලසම්පාදනය කිරීම වැදගත් ය. එසේ නොවුනහොත් ගෙඩියේ යටි කොටස කළුපාට වීමක් සිදුවේ. එය අග‍්‍රස්ථ කුණුවීම ලෙසින් හැඳින්විය හැක. මෙයින්් විශාල පාඩුවක් සිදුවේ. ඉතාමත් පිරිසිදුව හා කෘෂි රසායන භාවිතයෙන් තොරව පවත්වාගෙන යා යුතු වගා ක‍්‍රමයකි. දැල් නිවාස භෝග ක‍්‍රමය. නමුත් වගාකරුවන් අපිරිසිදු නාමයෙන් වගාව පවත්වාගෙන යාම නිසා විවිධ රෝග බෙල්පෙපර් වගාවට වැළඳීමට හැක.පළිබෝධක හානි ලෙස මයිටා හානියා පෙන්වා දිය හැකිය. මෙයින් කොළ කහ පාට වී මල් හැලීම සිදුවේ. ගෙඩිවල දුඹුරු පැහැයක් දකින්නට ලැබේ. මෙම රෝග ලක්‍ෂණ දුටු විගස ඇබවේට්ටින් අඩංගු රසායනික ද්‍රව්‍ය යෙදීම තුළින් රෝගය පාලනය කළ හැකි වේ. පැළමැක්කාගේ හානිය නිසා කොළ (පත‍්‍ර) කුඩාවීම ගසේ දැල්ල කළු - දුඹුරු වර්ණයට පත්වේ. මීට ඉමිඩාක්ලෝපී‍්‍රඩ් අඩංගු රසායනික ද්‍රව්‍යයක් ඉසිය යුතුය.සර්කොස්පෝරා නැමැති දිලීර රෝගයක්ද බෙල්පෙපර් ගසට වැළඳේ. මෙය මේරූ පත‍්‍රවල සුදු පුල්ලි ලෙසින් දැකිය හැක. කොළ හැලීම මුළුමනින්ම සිදුවේ. පොලිකර් නැමැති දිලීර නාසකයකින් රෝගය මැඬලිය හැක.

මීට අමතරව ගෙඩි කුණුවීම හා කඳ කුණුවීමේ රෝග සඳහා ජලය සැපයීම සීමාකර තඹ අඩංගු දිලීර නාශක යෙදීම තුළින් රෝගය මැඩලිය හැක. තම අභිමතය පරිදි හරිතාගාර තුළ වගාකරුට වගා කළ නොහැකිය. මෙම වගා ක‍්‍රමය සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ලබා දී ඇති උපදෙස් මත කටයුතු කරමින් ඉතාමත් පිරිසිදුව වගාව පවත්වාගෙන යාම තුළින් ලෙඩ රෝගවලින් තොර භෝගයක අස්වැන්නක්් ලබා ගත හැක. මෙය ආර්ථිකය ශක්තිමත් කර ගැනීමට ඇති පහසුම ක‍්‍රමවේදයයි. එසේ නොවුනහොත් දුර්වල වගා ක‍්‍රමයක් වී වැය කළ මුදලද අපතේ යනු ඇත.


උපුටා ගැනීම දැනුම පුවත්පත ඇසුරෙනි
Share on Google Plus

About Pradeep Kumara

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.